දකුණු අහසේ අත්භූත පිපිරීමට හේතුව මෙන්න

469

ශ්‍රී ලංකාවේ දකුණු දිග අහසෙහි විශාල ශබ්දයක් නගමින් ආලෝකය විහිදුවමින් ආකාශ වස්තුවක් ගමන් කර ඇති බව අප ඔබට වාර්තා කළා.

දැනට ලැබෙන වාර්තාවලට අනුව මෙම තත්වය විශාල ප්‍රමාණයේ උල්කාශ්මයක් විය හැකි බව කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ ඒකකයේ අධ්‍යක්‍ෂ ආචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කරනවා.

කොළඹ ප්‍රදේශයේ බොහෝ දෙනෙක් ද ඉතා වේගයෙන් ගමන්ගන්නා මෙම ආලෝකය දැක ඇති අතර ආලෝකය සහ ශබ්දය අත්දැක ඇත්තේ දකුණු පළාතේ ජනතාව යි.

මෙවැනි උල්කාශ්මයක් තත්පරයකට කිලෝමීටර 65 ක පමණ වේගයකින් පෘථිවියට පතිත වෙන බවත් එහිදී එම උල්කාශ්මය වායුගෝලයේ ගැටී ඇතිවන ඝර්ෂණය නිසා විශාල තාපයක් ජනනය වී ඔක්සිජන් සමග ගිනිගන්නා බවත් මෙවැනි අවස්ථාවක විශාල ආලෝකයක් දක්නට ලැබෙන්නේ එනිසා බවත් ජයරත්න මහතා පැවසුවා.

උල්කාශ්මය පැමිණෙන වේගය නිසා එහි ඉදිරි කොටසේ පීඩනය වැඩිවන අතර පිටුපස කොටසේ පීඩනය අඩුවන බවත් එ් හේතුවෙන් උල්කාශ්මය පුපුරා යන බවත් විශාල ශබ්දයක් ලෙස පොළව මතුපිටට ඇසෙන්නේ එම පුපුරායාම බවත් චන්දන ජයරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේවන විට පෘථිවිය හේලිගේ ධූමකේතුවේ කක්ෂය හරහා ගමන් කරමින් පවතින අතර එමගින් උල්කාපාත වර්ෂාවක් ඇතිවීමට ද නියමිත බවත් ඇතැම්විට එය ඊයේ සිදුවීමට සම්බන්ධ යැයි සැක කළ හැකි බව ද ඒ මහතා පෙන්වා දුන්නා.