විස්සේ තරග සියල්ලත් පරාදයි

110

ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර පැවති තුන්වන සහ අවසන් පන්දුවාර 20 තරඟය ලකුණු 36කින් ජය ගන්නට පකිස්ථාන කණ්ඩායම සමත් වුණා.

ඒ, අනුව තරඟ තුනකින් සමන්විත 20-20 තරඟාවලිය 3-0ක්  ලෙස පකිස්ථානය ශුරතාවය හිමි කර ගත්තා.

තරඟයේ කාසිය වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන්  පාකිස්තානය පන්දුවාර 20 අවසානයේදී කඩුලු 3කට ලකුණු 180ක් රැස් කිරීමට සමත් වුණා.

පකිස්ථානය වෙනුවෙන් ෂොයිබ් මලික් ලකුණු 51ක් රැස් කළ අතර ආරම්භක පිතිකරු උමාර් අමීන් ලකුණු 45ක් රැස් කළා.

පන්දු යැවීමේදී ඉසුරු උදාන, විකුම සංජය සහ දිල්ෂාන් මුණවීර පකිස්ථානයේ එක් කඩුල්ල බැගින් දවා ගත්තා.

ජයග්‍රහණය සඳහා  ලකුණු 181 ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේදී කඩුලු 09ක් දැවී රැස්කර ගැනීමට හැකි වුයේ ලකුණු 144ක් පමණයි.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දසුන් ශානක අර්ධ ශතකයක් රැස් කළේ පන්දු 36ක් වැය කරමින්.

මොහොමඩ් අමීර් ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩුලු 04ක් දවා ගැනීමට සමත් වුණා.

පකිස්ථානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගනයේදීයි තරඟය පැවැත්වුනේ.