ප්‍රහාරයෙන් වසර 8කට පසු දැඩි ආරක්ෂාව මැද ශ්‍රී ලංකා පිල අද ලාහෝරයේ (VIDEO)

136

වීඩියෝව සහ ඡායාරූප නැරඹීමට පහළට යන්න

2009 වසරේ ශ්‍රී ලංකා පිල ත්‍රස්ත ප්‍රහාරයකට ලක්වූ පාකිස්ථානයේ ලාහෝර් නුවර – ගඩාෆි ක්‍රිීඩාංගණයට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් අද නැවතත් පිවිසෙනවා.

1996 වසරේ ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව පරදවා ලෝක ක්‍රිකට් කුසලානය ජයග්‍රහණය කළේ ද වසර 50 ක ඉතිහාසයක් ඇති ගඩාෆි ක්‍රීඩාංගණයේදියි.

2009 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායම රැගත් බස් රථයට එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයේදී පුද්ගලයන් අටදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, අසංක ගුරුසිංහ, හෂාන් තිලකරත්න, උපුල් තරංග ඇතුලූ ක්‍රීඩකයන් එම බස් රථයේ ගමන් ගත් අය අතර වනවා.

එහෙත් උපුල් තරංග මෙම තරගයට සහභාගිවීම සඳහා ලාහෝරයට නොපැමිණෙන අතර, පාකිස්ථානයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන්නේ තිසර පෙරේරා විසින්.

කෙසේ නමුත් ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර අද පැවැත්වෙන තුන්වන විස්සයි විස්ස ජාත්‍යන්තර තරගය සඳහා ලාහෝර් – ගඩාෆි ක්‍රීඩාංගණයේ දැඩි ආරක්ෂාවක් යොදවා ඇති බව පාකිස්ථාන මාධ්‍ය සඳහන් කළා.

එහිදී විශේෂ රථවාහන සැළැස්මක්ද ක්‍රියාත්මක වන අතර, වාහන හැසිරවීම සඳහා පමණක් යොදවා ඇති සංඛ්‍යාව 2000 ක්.

ක්‍රිකට් කණ්ඩායම් දෙකට හැර කිසිදු වාහනයකට ක්‍රීඩාංගණය අසළට පැමිණීමට නොහැකි අතර, විශේෂ රථගාල් 4 ක් සකස් කර ඇති බවයි වාර්තාවන්නේ.

දහස් සංඛ්‍යාත සන්නද්ධ ආරක්ෂක හමුදා ලාහෝරයේ අද ස්ථානගත කර ඇති අතර, නරඹන්නන්ගේ හැසිරීම් රටාවන් නිරීක්ෂණය සඳහා ආරක්ෂක කැමරා සිය ගණනක් ස්ථාපිත කර ඇති බව පාකිස්ථාන ඩෝන් පුවත්පත සඳහන් කළා.

2009 ප්‍රහාරයෙන් පසු පාකිස්ථානයට ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් නොපැමිණි අතර, සිම්බාබ්වේ පිල පමණක් එක්දින තරගාවලියකට සහභාගි වුණා.

පසුගියදා ලෝක ක්‍රිකට් කණ්ඩායමක් පාකිස්ථානය සමග ප්‍රදර්ශන තරගාවලියකට සහභාගිවූයේ එරටට ජාත්‍යන්තර ක්‍රිකට් නැවත රැගෙන ඒමේ බලාපොරොත්තුවෙන්.

එහිදී 2009 ප්‍රහාරයට මුහුණදුන් ශ්‍රී ලංකා පිල නැවත පැමිණීම පාකිස්ථානය සළකන්නේ සුබවාදී සළකුණක් ලෙසයි.

Pakistani police commandos patrol around the perimeter of the Gaddafi Stadium ahead of the upcoming Twenty20 international cricket match between Pakistan and Sri Lanka, in Lahore, Pakistan, Saturday, Oct. 28, 2017. Pakistan will showcase its security capabilities to the cricketing world for the third time in eight months when Sri Lanka plays a Twenty20 international at the heavily guarded Gaddafi Stadium on Sunday. (AP Photo/K.M. Chaudary)