‘මේ වගේ පරාදවෙනවා මං කවදාවත් දැකලා නෑ’ – මුරලි කලකිරීමෙන් කියූ කතාව මෙන්න

415

මුත්තයියා මුරලිදරන් යනු ශ්‍රී ලාංකීය ක්‍රිකට්‌ ක්‍රීඩාවේ බිහිවූ හොඳම කඩුලු දඩයම්කරුය. එකල මුරලිගේ පන්දුවට හසු නොවූ පිතිකරුවෙකු ලොව සොයා ගත නොහැකි තරම්ය. ඔහුගේ අසාමාන්‍ය දඟ පන්දුවේ ජවය හේතුවෙන් තවත් වසර සිය ගණනකට බිඳිය නොහැකි ලොව ටෙස්‌ට්‌ සහ එක්‌දින වැඩිම කඩුලු ලාභියාගේ වාර්තාවද මුරලිගේ නම ඉදිරියෙන් සටහන් විය. මෙවැනි හපන්කමක්‌ කළ ක්‍රිකට්‌ වීරයකුගෙන් මෙරට ක්‍රිකට්‌වලට නෙළා ගත හැකි ඥනය කොතෙකුත් තිබේද? නමුත් මුරලි ඔහුගේ පාඩුවේ පැත්තකට වී සිටියි. ඔහුට කිසිවෙකුගෙන් ආරාධනාවක්‌ද නැත. නමුත් මුරලිගේ හඬ අවදි කිරීමට දැරූ උත්සහයකි මේ.

ප්‍රශ්නය – මුරලි ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම එක දිගටම පරදිනවා. ශ්‍රී ලංකාවේ බිහිවු සුපිරිම ක්‍රිකට්‌ ක්‍රීඩකයකු ලෙස මේක ඔබ දකින්නේ කොහොමද?

පිළිතුර – මේකට ඉතිං මට කියන්න දෙයක්‌ නැහැ. දැන් ක්‍රිකට්‌ බෝඩ් එකක්‌ තියෙනවානේ. ඒ අය ඡන්දෙන් ඇවිල්ලා ඉන්නවා. මට ගෙදර ඉඳන් අරම කරන්න මෙහෙම කරන්න කියන්න බැහැ. දැන් ඉන්න ක්‍රිකට්‌ ආයතනයෙන් තමයි මේකට විසඳුම සොයාගන්න වෙන්නෙ.

ප්‍රශ්නය – ඔබ දකින විදිහට මෙතන මොකක්‌ හරි වරදක්‌ තියෙන්න පුළුවන්. ඒ දේ කියන්න.

පිළිතුර – ක්‍රිකට්‌ ආයතනයේ ඉන්න කට්‌ටියගේ ජොබ් එක හරියට කරන්න ඕන. එහෙම කරන්නෙ නැතිනම් ඊට උඩින් ඉන්න ක්‍රීඩා ඇමැතිවරයා ඒ ගැන හොයන්න ඕන. මෙහෙම වෙන්නෙ ඇයි කියල රිපෝට්‌ එකක්‌ බෝඩ් එකෙන් ඉල්ල ගන්න ඕන. ඇමැතිතුමා ඒක කරන්නෙ නැතිනම් රටේ ඉහළම තැන්වලින් මේ ගැන හොයන්න ඕන. එහෙම තමයි ප්‍රශ්නයක්‌ තියෙනවනම් විසඳ ගන්න වෙන්නෙ.

ප්‍රශ්නය – ඔබ ක්‍රීඩා කරන කාලයේ මෙහෙම එක දිගට පරාජය වුණේ නැහැ. මොකක්‌ද ඒකට හේතුව

පිළිතුර – මම කියන්නෙ නැහැ කවදාවත් අපි මේ රටේ ක්‍රිකට්‌ උඩට ගෙනාවා කියලා. ඒ කාලයේ හොඳ ක්‍රීඩකයන් හිටියා. 1970-80 දශකයේ ආපු ක්‍රමවේදය නිසා හොඳ ක්‍රීඩකයන් බිහි වුණා. ඒ නිසා අපිට 1994 ඉඳන් 2014 විතර වෙනකම් හොඳ තැනක අපේ ක්‍රිකට්‌ තිබ්බා. ඒ කාලයෙත් තරග පැරදුන අවස්‌ථා තිබ්බා. නමුත් මේ වගේ පරදිනවා මම කවදාවත් දැකලා නැහැ. ඒ නිසා සැලසුමක්‌ තමයි හදන්න ඕන. අපි කවදාවත් කියන්නෙ නැහැ ලංකාවෙ ක්‍රිකට්‌ එක අපි උඩට ගෙනාවා කියලා. කාටවත් එහෙම කියන්නත් බැහැ. එහෙම කවුරු හරි කියනවනම් ඒක පට්‌ටපල් බොරුවක්‌. ඒ කාලයේ ක්‍රිකට්‌ දියුණු වුණේ එදා තිබුණ ක්‍රමවේදය නිසා.

ප්‍රශ්නය – ඔබ හැමදාම කියනවා පළමු පෙළ තරග සැලැස්‌ම හරි නැහැ කියලා. ඒකත් එක හේතුවක්‌ද?

පිළිතුර – පළමු පෙළ ක්‍රිකට්‌ එක හරියට හදන්නෙ නැතිව මේකට විසඳුම් හොයන්න බැහැ. දැන් මහේලලා සහ සංගක්‌කාරලා කමිටුවකට දීලා තියෙනවනේ ප්ලෑන් එකක්‌ හදන්න. ඉතිං ඊට පස්‌සෙ බලමු.

ප්‍රශ්නය – ඔබට ක්‍රිකට්‌ හදන්න යෝජනාවක්‌ නැද්ද?

පිළිතුර – මම නෙමෙයි යෝජනා දෙන්න ඕන දැන් ඉන්න කට්‌ටිය. මේ වගේ පසුබෑමකට හේතුව හොයන්න ඕන. අපි යෝජනා දුන්නත් ඒක ක්‍රියාත්මක කරන්න ඕනෙත් දැන් ඉන්න කමිටුවනෙ. ඒ කට්‌ටිය හරි නැතිනම් වෙන කට්‌ටියක්‌ දාන්න බලය ක්‍රීඩා ඇමැතිවරයාට තියෙනවා. ඒ නිසා අපි යෝජනා දීලා බොරුවට වැඩක්‌ නැහැ ඒවා ක්‍රියාත්මක කරන්නෙ නැති වුණාම අපේ නමත් සවුත්තු වෙනවා.

ප්‍රශ්නය – ඔබ දැන් පාසල් ක්‍රිකට්‌ හදන වැඩකට උදව් කරන්න ඉදිරිපත් වෙලා තියෙනවා.

පිළිතුර – ඔව් අධ්‍යාපන ඇමැතිතුමා ආරාධනා කළා. අපි කට්‌ටිය පාසල් ක්‍රිකට්‌වල තියෙන අඩුපාඩු පෙන්වලා දුන්නා. ඒවා වෙනස්‌ විය යුතු ආකාරය කිව්වා. ඉතිං මම දන්නෙ නැහැ ඒවා ක්‍රියාත්මක වෙයිද කියලා.

ප්‍රශ්නය – ඔබ දැන් පුහුණුකරුවෙක්‌ නේද?

පිළිතුර – මට සම්පූර්ණයෙන්ම ක්‍රිකට්‌වලට කාලය වැය කරන්න වෙලාවක්‌ නැහැ. ඒ නිසා අයි.පී.එල්. සහ කල්කටාවල පුහුණුකරුවෙක්‌ ලෙස වැඩ කරනවා. ඊට අමතරව මගේ ව්‍යාපාර බලාගෙන ඉන්නවා.

ප්‍රශ්නය – ඔබේ පදනමෙන් ක්‍රිකට්‌වලටත් ලොකු සේවයක්‌ වෙනව නේද?

පිළිතුර – අපේ පදනමක්‌ තියෙනවා. ඒක ක්‍රිකට්‌වලටම නෙමෙයි. ඒකේ කාණ්‌ඩ 120 ක්‌ විතර තියෙනවා. ධීවරයාගේ ඉඳලා තව බොහෝ දේවල් තියෙනවා. ක්‍රිකට්‌ කියන්නෙ එකක්‌ විතරයි. ඒකෙන් කරන්නෙ නැති බැරි අයට උදව් කරන එක. රස්‌සා හොයල දෙන එක. එතනදි හොඳ ක්‍රිකට්‌ ක්‍රීඩකයන් මුණ ගැසුනහම උපරිම උදව් කරනවා.