දැල් පන්දුවෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

16

ආසියානු දැල්පන්දු තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමට වඩාත් තීරණාත්මක තරගයක් වූ සිංගප්පූරුව සමග තරගයෙන් ලකුණු 74-61ක් වශයෙන් ජය ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් වූණා. මෙම තරගය සිංගප්පූරුවේ ඕසීබීසී එරීනා ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී 04 වෙනිදා පැවැත්වුණා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම කුසලාන වටය සඳහා තරග කරන සුපිරි කණ්ඩායම් හතර තුළ ප්‍රථම ස්ථානයට පත් වුණා. එක් තරග වටයක් නිමා වන විට එහි දෙවැනි ස්ථානය මැලේසියාවටත්, තෙවැනි ස්ථානය සත්කාරක සිංගප්පූරුවටත්, සිවුවැනි ස්ථානය හොංකොං රාජ්‍යයටත් හිමිව තිබෙනවා.

පළමු කාර්තුව තුළ දැඩි තරගකාරීත්වයක් දැකගත හැකි වූ අතර, එම කාර්තුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ජයග්‍රහණය කළේ, ලකුණු 18-12ක් වශයෙන්. එහිදී දුලංගි වන්නිතිලක සහ හසිතා මෙන්ඩිස් එක්ව සිංගප්පූරු සබඳතා බිඳ දමමින් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු රැස් කිරීමට අවස්ථාව හිමිකර දුන්නා. පිටියේ මධ්‍ය ක්‍රීඩිකාව ලෙස කටයුතු කළ ගයාංජලී අමරවංශ විශේෂ දක්ෂිතා දක්වමින් ශ්‍රී ලංකා විදින්නිය වූ තර්ජිනී ශිවලිංගම්ට පන්දුව ලබා දෙමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව වේගවත් කළා.

වැඩි උපක්‍රම ක්‍රියාත්මක වූ දෙවැනි කාර්තුවේ ජයද ශ්‍රී ලංකා කණ්ඩායම සතු වූ අතර, එහිදී එම කාර්තුව ලකුණු 19-16ක් ලෙස පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකි වුණා. දෙවැනි කාර්තුව නිමාවේදී සමස්ත ලකුණු ප්‍රමාණය දැක්වුණේ ලකුණු 37-28ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී මාවතේ තබමින්.

ග්‍රහණය ලිහිල් නොකළ තෙවැනි කාර්තුවේ ජයද හිමි වූයේ ශ්‍රී ලංකා කණ්ඩායමට. ඒ ලකුණු 21-14ක් වශයෙන්. එම කාර්තුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා නායිකා චතුරාංගනී ජයසූරියගේ සහ අත්දැකීම් බහුල ක්‍රීඩිකාවක් වන ගයනි දිසානායකගේ දක්ෂතා බොහෝ සෙයින් ඉවහල් වුණා. තෙවැනි කාර්තුව අවසානයේ සමස්ත ලකුණු ප්‍රමාණය දැක්වුණේ 58-42ක් වශයෙන්.

සිවුවැනි කාර්තුවේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආදේශන කිහිපයක් සිදු කිරීමත්, යම්යම් අඩුපාඩු කිහිපයක් නිසාත් තරගයේ පාලනය එම කාර්තුවේදී ඉදිරියට පැමිණීමට සිංගප්පූරු ක්‍රීඩිකාවන් සමත් වුවද, සමස්ත තරගයේ ජය ශ්‍රී ලංකාවට හිමි වුණා. එම කාර්තුවේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ලකුණු 16ක් රැස්කර ගනිද්දී, සිංගප්පූරුව ලකුණු 19ක් රැස් කළා. ඒ අනුව සමස්ත තරගය අවසානයේ ලකුණු තත්ත්වය දැක්වුණේ ලකුණු 74-61ක් වශයෙන්.