සමලිංගික සේවනයට පාසල් සිසුවෙකු යොදාගත් පොල්කඩන්නා සිරගෙට

215
Representative Image

වයස 16ට අඩු බාල වයස්කාර පාසල් සිසුවකුට බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකිරීම සම්බන්ධයෙන් වසර හතරකට ආසන්න කාලයක් ඇප කොන්දේසි සපුරා ගැනීමට නොහැකිව රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටි පොල් කඩන්නකු එකී චෝදනාවට වරදකරු බව අධිකරණය හමුවේ පිළිගැනීමෙන් අනතුරුව ඔහුට වසරක බරපතළ වැඩසහිත සිරදඬුවමක් හා දඩ හා වන්දි මුදල් ගෙවන ලෙස අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා නියෝග කළේය.

මෙසේ සිර දඬුම් හා දඩ නියම වූයේ හතරේ ඇළ ශ්‍රාවස්තිපුර අනුරාධපුර ලිපිනයේ පදිංචි පොල් කඩන අයෙකුටය.

සිසුවාව නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීම හා බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවට විත්තිකරුට දඬුවම් නියම වූ අතර පළමු චෝදනාවට විත්තිකරුට වසරකට බරපතළ වැඩ සහිත සිරදඬුවමක් හා රුපියල් 500ක දඩ මුදලක් සමඟ වින්දිත දරුවාට රුපියල් 50000ක වන්දි මුදලක් ගෙවන ලෙස විනිසුරුවරයා නියෝග කළේය.

දෙවන චෝදනාවට විත්තිකරුට වසර දෙකක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළ විනිසුරුවරයා එම සිරදඬුවම වසර පහකට අත්හිටුවීමට නියෝග කළේය. දෙවැනි චෝදනාවටත් රුපියල් 500ක දඩ මුදලක් හා වින්දිත දරුවාට රු 50000ක වන්දි මුදලක් ගෙවන ලෙස නියම කළ විනිසුරුවරයා එම මුදල් නොගෙවන්නේ නම් තවත් වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය.

විත්තිකාර පොල් කඩන්නා විසින් 2013 මැයි මස 18 වන දින හෝ ඊට ආසන්න දිනයකදී වයස අවුරුදු 16ට අඩු බාලවයස්කාර පාසල් සිසුවාව නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කර ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවට අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබිණි.

විත්තිකරුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබූ අතර ඔහුට ඇප ලබාදීමට කිසිවකුත් ඉදිරිපත් නොවීම නිසා වසර හතරකට වැඩි කාලයක් රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටීමට සිදුව තිබිණි. විත්තිකරුට පෙර වැරදි නොමැතිවීම හා වසර හතරකට වැඩි කාලයක් රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටීම සැලකිල්ලට ගත් විනිසුරුවරයා ඔහුට ලිහිල් දඬුවමක් ලබාදී තිබුණේය.