පෙම්වතුන් 3ක් එකවර ඇසුරු කළ තරුණියක් නිසා දඹුල්ල නගරය උණුසුම් වෙයි

803

මිතුරකුගේ පෙම්වතියක් හා ඇගේ තවත් පෙම්වතකු බිය වැද්දීම සඳහා පිහියක් රැගෙන ආ කට්ටඩියකු අත්අඩංගුවට ගෙන පෙම්වතියත් පෙම්වතියගේ තවත් පෙම්වතුන් තිදෙනකුත් මුදාහැරීමේ අපූරු පුවතක් දඹුල්ල පොලිසියෙන් පසුගියදා වාර්තා වේ.

දඹුල්ල පොලිසියේ අපරාධ අංශයට පසුගියදා හදිසි දුරකතන ඇමැතුමකින් පණිවුඩයක් ලැබී තිබුණේ දඹුල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට පුද්ගලයකුට පිහියෙන් ඇනීමට තැත් කිරීමේ සිදුවීමක් සිදු වන බවයි.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් පරීක්ෂක ගයාන් සමරකෝන් මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් ජීප් රථයකින් දඹුල්ල බස් නැවතුම්පොළ අසලට පැමිණියහ. ඒ වන විටත් තරුණියක් සහ තරුණයන් සිවුදෙනකු එම ස්ථානයේ යම් කිසි ප්‍රශ්නයකට පැටලී සිටින ආකාරය පොලිසිය දැක ඇත.

එහි සිටි තරුණයකු පොලිසියට කියා ඇත්තේ ඒ අසල සිටි තවත් තරුණයකු ඉණේ පිහියක් සඟවාගෙන තමන් මරන බවට තර්ජනය කළ බවයි. වහාම එම පුද්ගලයා පරීක්ෂා කිරීමේදී ඉණේ සඟවා තිබූ පිහියක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. පසුව තරුණයන් සිවුදෙනාත් තරුණියත් පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කිරීම සඳහා දඹුල්ල පොලිසියට රැගෙන යන්නට පොලිසිය තීරණය කළහ.

එහිදී හෙළි වී ඇත්තේ මෙම පෙම්වතිය තවත් පෙම්වතුන් තිදෙනකු සමඟ හාදකම් පවත්වන බවයි. එහෙත් එක තරුණයකු පෙම්වතිය තමා යටතට පත්කර ගැනීම සඳහා කැකිරාව ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන කපුවකුගේ පිහිට පතා තිබේ.
ඒ අනුව තම පෙම්වතිය තවත් පෙම්වතකු සමඟ දඹුල්ල නගරයට පැමිණ ඇති බවට ලැබුණු තොරතුරක් මත තරුණයා කට්ටඩියාට දැනුම් දී ඇත්තේ කෙසේ හෝ මන්ත්‍ර බලයෙන් තම පෙම්වතිය තමන්ට නතු කර දෙන ලෙසයි. මෙම කපුවා තරුණයාද සමඟ දඹුල්ල නගරයට පැමිණ ඇත්තේ දේව බලයෙන් තරුණිය තරුණයා පසු පස ගෙන්වා දීමේ පොරොන්දුව මතය.

ඒ වන විටත් තරුණිය තවත් පෙම්වතකු සමඟ කතා කරමින් දඹුල්ල බස් නැවතුම්පොළේ සිටිනු දැක ඇත. මෙය ආරංචි වී තරුණියගේ අනෙක් පෙම්වතා ද පිටුපස ලුහුබැඳ ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබේ. වහාම එම ස්ථානයට ගිය කට්ටඩියා තරුණිය සමඟ සිටි පෙම්වතාට බලපෑම් කරමින් කියා ඇත්තේ පිහියෙන් අනින බවත් එසේ නොවන්නේ නම් කඩිනමින් මෙම සම්බන්ධය අතහැර දමන ලෙසත්ය. මෙම සිද්ධිය දුටු පෙම්වතා මේ පිළිබඳව පොලිසියට දැනුම් දී ඇත. පසුව මෙම පෙම් පලහිලව්ව පොලිසිය තුළදී දිග හැරෙන්නට විය.

පෙම්වතියත් පෙම්වතියගේ පෙම්වතුන් තිදෙනා කියා ඇත්තේ කට්ටඩියා විසින් පිහියක් රැගෙන ආ බව කිසිවෙක් නොදන්නා බවයි. කට්ට¾ඩියා මුදල් ලබාගෙන පෙම් පලහිලව්ව සාර්ථක කර දෙන බවට පොරොන්දු වූ බවද පෙම්වතකු පොලිසියට ප්‍රකාශ කර ඇත. ඒ අනුව පෙම්වතියත් පෙම්වතුන් තිදෙනාත් පොලිසිය මුදාහැර ඇති අතර සාපරාධී බියවැද්දීමේ චෝදනාව යටතේ කට්ටඩියා පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

දඹුල්ල පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරීක්ෂක ගයාන් සමරකෝන් මහතා පරීක්ෂණ පවත්වයි.