නිදියහනේදීම නාදුනන අයෙකුට ගොදුරක් වූ එක්දරු මව සතියකට පසු මරුට

1371

නිදි යහනේදී නාඳුනන පුද්ගලයකුගේ පහරකෑමට ලක්‌ව මහනුවර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි හතළිස්‌ නම හැවිරිදි එක්‌දරු මවක්‌ ඊයේ (29) අලුයම ජීවිතක්‍ෂයට පත්ව ඇත. මියගොස්‌ ඇත්තේ ගිරිතලේ පුරාණගම දෙවැට පාර ලිපිනයේ පදිංචි ශ්‍රියානි තිලකරත්න නමැත්තියකි.

මෙම සිද්ධියට මුහුණ පෑ කාන්තාව ඉකුත් 2 දා දින රාත්‍රි නින්දට ගොස්‌ ඇත. ආබාධිතයකු වන ඇයගේ සැමියාද එම කාමරයේ වෙනත් ඇඳක නිදාගෙන සිට ඇත. පාන්දර 4.00 ට පමණ ඔහු අවදිව ඇත්තේ නියමිත බෙහෙත පානය කිරීම සඳහාය. ඒ මොහොතේ තම බිරිඳ හිසේ ලේ ගලමින් කෙඳිරිලි නගමින් සිට ඇති බවත් තමා කෑ ගසා අසල්වාසීන් කැඳවා ඇය පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කරවූ බවටත් ඔහු පොලිසියට ප්‍රකාශ කොට තිබේ. එහිදී දැඩි ලෙස අසාධ්‍ය වූ ඇය වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට ඇතුළත් කර සතියකට පමණ පසු මෙලෙස ජීවිතක්‍ෂයට පත්ව ඇත.

මෙම සිදුවීමට අදාළ මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය හිඟුරක්‌ගොඩ වැඩබලන මහෙස්‌ත්‍රාත් චන්ද්‍රිකා කුමාරප්පෙරුම මහත්මිය විසින් ඊයේ (29) දහවල් සිදුකරන ලදී. පශ්චාත් මරණ පරීක්‍ෂණය මහනුවර මහ රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබිණි.