ටියුෂන් පන්තියට නොආ දරුවෙකුට වියරු ගුරුවරියක් කළ අපරාධය එළියට

560

කුඩා සිසු දරුවකුගේ පෙළ පොත් හා අභ්‍යාස පොත් කිහිපයක් පාසල තුළදීම ගිනි තබා පුලුස්සා විනාශ කරන්නට තරම් කුරිරු වූ ගුරුවරියක් සම්බන්ධ පුවතක් අනුරාධපුර අධ්‍යාපන කලාපයෙන් වාර්තා වේ. පසුගිය කාලයේ පාසල් දරුවන්ට විවිධ වධහිංසා පැමිණවූ ගුරුවර ගුරුවරියන් පිළිබඳව අප විටින් විට අසා ඇතත් පොත්පත් ගිනි තැබූ අවකල් ගුරුවරියක් පිළිබඳව අසන්නට දැනගන්නට ලැබුණේ නැත. දෙවැනි මවක් ලෙස ආදර ගෞරවයට පාත්‍රවන ගුරු මෑණිවරුන්ට කැළැලක් එක් කළ ගුරුවරිය මේ තත්ත්වයට පත්වූයේ ඇයගේ අසීමිත මුදල් තණ්හාව නිසා බව පාසලේ මවුපියෝ පවසති.

අනුරාධපුර අධ්‍යාපන කලාපයට අයත් හතරැස්වල විද්‍යාලයේ සේවයේ නියුතු මේ ගුරුවරිය විසින් එම පාසලේ පස්වැනි ශේ‍ර්ණියේ ඉගෙනුම ලබන සිසුවකුගේ පෙළ පොත් ඇතුළු අභ්‍යාස පොත් හතරක් පාසල තුළදී පුලුස්සා විනාශ කර දැමුණේ ඉකුත් සතියේය. සිදුවූ අසාධාරණය පිළිබඳ දරුවාගේ මව නොබියව අනුරාධපුර අධ්‍යාපන බලධාරීන්ට පැමිණිලි ඉදිරිපත් කර තිබුණු නමුත් මේ වන තෙක්ම අසරණ දරුවාට හෝ මවුපියන්ට කිසිදු සාධාරණයක් ඉටු වී නැත.

අනුරාධපුර පුල්ලෙයාර් හංදිය ප්‍රදේශයේ පදිංචිව සිටින මේ මවුපියෝ අගහිඟකම් මැද දරුවන් දෙදෙනකු පෝෂණය කරමින් ඔවුන් රටට වැඩදායී පුද්ගලයන් ලෙස සමාජගත කිරීම මහත් වෙහෙසක් දරති. දරුවාට පාසල් අධ්‍යාපනයට අමතරව අමතර පන්තිවලින් අධ්‍යාපනය ලබා දෙන්නට ඔවුන්ට තිබූ හැකියාව ඉතා අල්පය. ඒ නිසා එදිනෙදා පාසලේ උගැන්වූ දෙය නිවෙසේදී නැවත ආවර්ජනය කර ගැනීමට පුංචි පුතුට සිදුව තිබිණි. මේ නිසා අමතර පන්ති පැවැත්වූ ගුරුවරිය දරුවා සමඟ දැඩි අමනාපයෙන් පසුවී සිට ඇති අතර පාසල් පන්ති කාමරයේදී හැකි සෑම අවස්ථාවකදීම දරුවාට මානසික හිංසාවන් සිදුකිරීමට පුරුදුව සිටි බව මවුපියන්ට දැනගන්නට ලැබී ඇත.

දරුවා සමඟින් අමනාපයෙන් පසුවූ මේ ගුරුවරියට ඔහුගෙන් පළිගන්නට අවස්ථාවක් ලැබෙන්නේ 2017 වර්ෂයේ අගෝස්තු මාසයේ පැවැති ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත්වූ දිනයේ උදෑසනය. අධ්‍යාපන කටයුතුවලට හා විෂය බාහිර කටයුතු සඳහා දක්ෂතා දක්වන මෙම සිසුවාට ශිෂ්‍යත්වයේ විශිෂ්ට ප්‍රතිඵලය කරා යෑමට නොහැකි වුවත් විභාගයෙන් ලකුණු 142ක ප්‍රමාණයක් ලබාගෙන තිබිණි. පොත් හතර ඔහු පාසලට නොපැමිණි දිනයේ ගිනි තබා විනාශ කර තිබුණේ ගුරුවරිය මේ ප්‍රතිඵලය සඳහා ඔහුට දුන් තෑග්ගක් ලෙසය.

කුඩා පාසල් දරුවන්ට ඉසිලිය නොහැකි කිලෝග්‍රෑම් 15ක් පමණ බරින් යුතු පොත් කට්ටලය නිසා දෛනික පැවරුම් නොමැති දිනපතා අත්‍යවශ්‍යම නොවන පෙළ පොත් හා අභ්‍යාස පොත් පාසලේ පන්ති කාමරයේ තබා යෑමට සෑම විදුහලකම විදුහල්පතිවරු දරුවන්ට අවසර ලබාදී ඇත. ඒ නිසා මෙම සිසුවාත් රජය මඟින් ලබාදෙන පෙළපොත් දෙකක් හා අභ්‍යාස පොත් දෙකක් පාසල් පන්ති කාමරයේ තබාගොස් තිබිණි.

විද්‍යාලයේ සිසු දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා අභිනවයෙන් ඉදිකර විවෘත කරන ලද ගොඩනැඟිල්ලේ පස්වැනි ශේ‍ර්ණිය පන්ති පැවැත්වීමට කටයුතු යෙදුණේ මේ අතරය. මේ වන විට සිසුවාගේ එක් ඇසක විශාල නඟනයක් හටගෙන අසනීප වීම නිසා නව ගොඩනැඟිල්ල සිසු අයිතියට පත්කරන දිනයේ ඔහුට පාසලට පැමිණීමට නොහැකි වී තිබේ. නව පන්ති කාමරයට යෑම සඳහා පාසල් පැමිණි සිසුන් පරණ පන්ති කාමරයේ තබා ගිය පොත් සියල්ල එක්කාසු කරද්දී ගුරුවරියට එදින පාසල් නොපැමිණි ශිෂ්‍යයාගේ පොත් හතරක් හමුවී තිබිණි. එම පොත් ඇය භාරයට ගෙන මේවා වැඩකට නෑ යනුවෙන් සෙසු සිසුන්ට පවසා ඔවුන් බලා සිටියදීම ඒ පොත් සියල්ල ගිනි තබා විනාශ කර තිබුණාය.

මේ ගුරුවරිය එම පොත් ගිනි තබා තිබුණේ සිය පන්තියේ ඉගෙනුම ලබන සහෝදර සිසුවා පන්ති කාමරයේ තබාගිය පොත් අලුත් පන්ති කාමරයට රැගෙන යන්නම් යැයි අනෙක් සිසුන් පවසද්දීය. මේ ගුරුවරිය පසුවූ මනෝභාවය මොනතරම් පහත්දැයි ඉන් තේරුම්ගත හැකිය. පසුගිය වසර පුරාම මුදල් අයකරමින් ඇය පැවැත්වූ පෞද්ගලික ශිෂ්‍යත්ව පන්තියට සහභාගි නොවීම නිසා මෙම සිසුවා හා මවුපියන් සමඟ ඇය වෛරයෙන් සිටි බව කියැවිණි. ශිෂ්‍යත්ව පන්තියට සහභාගි වූ සිසුන් හත් දෙනකු හැර සෙසු දරුවන් 21 දෙනාට පාසල් පන්ති කාමරයේදී මානසික හිංසාවන් ඉවක් බවක් නොමැතිව සිදුකර තිබුණු බව වාර්තා විණි.

සිය පන්ති භාර ගුරුවරිය පොත් හතරක් ගිනි තබා විනාශ කළ බව පසු දිනයේ පාසලට පැමිණි අවස්ථාවේ මිතුරන් මේ දරුවාට පවසා තිබිණි. පොත් හතරක් ගිනි තබා විනාශ කිරීම නිසා දැඩි මානසික කම්පනයට පත්වූ දරුවා පාසල අවසන්වී හඬා වැටෙමින් නිවෙසට ගොස් ඒ පිළිබඳ මවට පවසා තිබිණි. දරුවාට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ මවුපියන් ඒ පිළිබඳ ලිඛිතව හා වාචිකව පළාතේ අධ්‍යාපන බලධාරීන්ට පැමිණිල්ලක් කළත් එය තුට්ටුවකට මායිම් නොකර ගුරුවරිය රැක ගැනීමට ඔවුහු කටයුතු කළහ. සාධාරණය ඉටු නොවීම නිසා සිසුවාගේ මව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක පී. යමුනා කාන්ති මහත්මියට ඒ පිළිබඳ පැමිණිලි කර තිබූ අතර ස්ථානාධිපතිවරිය පැමිණිල්ල විභාග කර සාධාරණය ඉටුකර දීමට කටයුතු කර තිබුණාය.

විදුහල්පති සමඟ පොලිසියට පැමිණ හයිරන් දැමීමට උත්සාහ කළ ගුරුවරිය පොලිසිය හමුවේ පොත් දෙකක් පුලුස්සා විනාශ කළ බවට පිළිගත්තාය. වෙනත් දරුවකුගේ පොත් ඒ වෙනුවට ලබාදීමට එකඟ වීම නිසා පැමිණිල්ල සමථයකට පත්කිරීමට පොලිසිය පියවර ගෙන තිබිණි. දැන් ඇය සිය පන්තියේ ඉගෙනුම ලබන වෙනත් ශිෂ්‍යාවකට අයත් අභ්‍යාස පොත් සිසුවාට ලබාදීමට කටයුතු කර ඇත. එම සිසුවිය දක්‍ෂ නිසා පොත්වලින් ඇයට වැඩක් නැති බව ගුරුවරිය පොලිසිය හමුවේ පවසා තිබුණාය.

පොලිසියෙන් සාධාරණය ඉටු වුවත් රජයේ දේපළක් වන අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් නොමිලයේ ලබාදෙන පෙළ පොත් දෙක් ගිනි තබා විනාශ කිරීම හා සිසුවකු අවුරුද්දකට ආසන්න කාලයක් සටහන් ලියූ අභ්‍යාස පොත් දෙකක් ගිනි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන බලධාරීන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබිණි. පුවත්පතක් මගින් මෙම සිද්ධිය අනාවරණය කිරීමත් සමඟ ඊට පසුදින විද්‍යාලයට ගිය පරීක්‍ෂණ කණ්ඩායමක් දරුවා අපහසුතාවට පත්කරමින් විදුහල්පතිවරයා සමඟ ගුරුවරිය රැකගැනීමට ක්‍රියා කර තිබුණේ ගුරුවරියගේ ක්‍රියාකලාපය නිවැරැදි බව හඟවමිණි.

විද්‍යාලයේ විදුහල්පතිවරයාත් දරුවාට සිදුවූ අසාධාරණය සම්බන්ධයෙන් පෙනී නොසිට ඒ පිළිබඳ අධ්‍යාපන බලධාරීන්ට, පොලිසියට හා මාධ්‍යයට තොරතුරු ලබාදුන් අය සමඟ වෛර බැඳගෙන සිටී. සිය කීර්තිනාමයට හානි කළ සියලු දෙනාට නඩු පිට නඩු දමන බව මෙම ගුරුවරිය පවසා තිබුණාය. අප බලා සිටින්නේ උතුරුමැද පළාතේ අධ්‍යාපන බලධාරීන් මේ අවනඩුවේදී හැසිරෙන ආකාරය පිළිබඳවය.