ගිරිබාවේ පාසලට පැන්න කොල්ලකරු ඇල්ලූ මෙහෙයුම

179

දිනය 2017යි මැයි මස 16 වැනිදාය. තැන මහව අධ්‍යාපන කලාපයට අයත් ගිරිබාව ප්‍රාථමික විද්‍යාලයය. ඔරලෝසුවේ වේලාව සටහන් ව තිබුණේ උදෑසන 11 පසුවී විනාඩි 10ක් ලෙසය. කුඩා පැටවු පන්ති කාමරය පුරා කෑ කෝ ගසමින් අකුරු ඉගෙන ගනිමින් සිටියහ. එහෙත් මේ සියල්ල පාසල ආසන්නයේ සිටි මහත්මයා වේශය ගත් පුද්ගලයකුගේ උකුසු ඇසින් නිරීක්ෂණය වන සෙයක් පාසලේ කිසිවකුත් දැන සිටියේ නැත. ගිරිබාව ප්‍රාථමික පාසලත් ගිරිබාව කොට්ඨාස අධ්‍යාපන කාර්යාලයත් අතර රැකවල්ලා සිටි කොල්ලකරු මේ සියල්ල නිරීක්ෂණය කර තිබිණි. නිරීක්ෂණය පැයකට ආසන්න කාලයක් බව ගුරුවරුන් පවා දැනගත්තේ සියල්ල සිදුවී හමාර වූ පසුවය. උදෑසන 10ට පමණ සියල්ල නිරීක්ෂණය කළ කොල්ලකරු උදෑසන 11.10ට පාසලේ පන්තියට කඩා වැදුණේ කාගේත් දෙනෙත් වසන් කරය. ඒ පාසලේ කෙළවරටම වන්නට පිහිටි පළමු වසර පන්ති කාමරයකටය.

පුංචි දරු පැටවුන්ගේ දෙනෙත් එක් වරම යකෙකු දුටු කලෙක මෙන් තැතිගෙනය. “පන්තියට යකෙක් ආවෝ” යැයි කියමින් ඒ පුංචි දරුවෝ මහ හ¾ඩින් බෙරිහන් දෙමින් දුවන්නට වූහ. එහෙත් කොල්ලකරුගේ හැඩි දැඩි සිරුරත් කළු පැහැයෙන් ආවරණය වූ මුහුණත් ඉදිරියේ ඒ ගුරුතුමියද භ්‍රාන්ත වූවාය. කිසිවක් කියාගන්නටවත් කරගන්නටවත් ඇයට ඒ අවස්ථාවේදී හැකියාවක් නොමැති විය. කොල්ලකරු පැමිණියේ තම රන් භාණ්ඩ කොල්ල කා පලා යන්නට යැයි ගුරුතුමියට සිතී තිබිණි. ඇය සිතුවාක් මෙන් කොල්ලකරු එකවරම ගුරුතුමිය දෙසට උල් පිහියක් දික් කොට ඇගේ ගෙල බැඳි මාලය කඩා ගැනීමට වෙර යෙදුවේය. ගුරුවරියගේ වෑයමෙන් කොල්ලකරුගේ විශාල අතට හසුවූයේ රන් මාලෙහි අඟල් 7ක් පමණ කොටසක් පමණි.

“මම ඒ හොරා එක්ක පොර බඳින ගමන් කෑ ගැහුවා ළමයිනේ එළියට දුවන්න කියලා. ළමයි මාව දාලා ගියේ නෑ. යටිගිරියෙන් කෑ ගගහා මුළු පන්තිය පුරාම දිව්වා. ඒත් එක්කම වගේ තමා මගේ පන්තියට එහා පන්තියේ හිටපු මිස් මගේ පන්තියට ආවේ. ඒ එක්කම වගේ මගේ එක්ක පොර බැඳපු හොරා පන්තියෙන් පැනලා යන්න ගියා. ඒ යද්දී මගේ පන්තියට ආව මිස් හිටියෙ ‍ෙදාර ළඟ. එයාගේ මාලෙත් කඩාගෙන යන්න හදලා තියෙනවා. ඒත් හදිසිය නිසා ඒ මාලේ කඩා ගන්න බැරි වුණා. මගේ අතේ තිබුණා මුදු 02ක්. මගෙත් එක්ක පොර බදන අතරේ මුදු 02 ගලවගෙන තියෙනවා. රුපියල් 45,000ක් විතර වටිනවා මුදු දෙක. මේ හොරා ආවේ ජීවිත හානියක් කරන්න නොවේ. එහෙම ඕනේකමක් තිබුණා නම් ඒ හොරා අරන් ආව පිහියෙන් ඒ දේ කරන්න තිබුණා. පවුම් 02ක විතර මාලයක් තමා මගේ කරේ තිබුණෙ. සැලසුම් කරලා කරනවා ඇරෙන්න නොදන්න කෙනෙකුට මෙහෙම දෙයක් කරන්න බෑ” යැයි රන් භාණ්ඩ කොල්ලකෑමට ලක්වූ ගිරිබාව ප්‍රාථමික විදුහලේ එච්.එම් නදීශා ගිම්හානි ගුරුවරිය කියා සිටියාය.

කෙසේ වෙතත් මැයි 16 වැනිදා සවස ගිරිබාව පොලිස් ස්ථානයේ පැමිණිලි පොතේ නාඳුනන පුද්ගලයෙක් විසින් සිදු කළ රන් භාණ්ඩ කොල්ලයක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් සටහන් විය. සිද්ධිය ගැන සැලවී පොලිස් නිලධාරීන් ද අදාළ පාසල් භූමියට වහා පැමිණියද ඒ වන විටත් කොල්ලකරු පැමිණි යතුරුපැදිය අස්ප වේගයකින් පිටව ගොස් තිබිණි. පොලිස් නිලධාරීන් එම ස්ථානයෙන් ආපසු හැරී ආවද පොලිස් ඇස ඉන් ඉවතට ගැනීමට ගිරිබාව පොලිස් ස්ථානාධිපති කේ.වී.පී.සී. දීපාල් සූදානම් වූයේ නැත. ඔහු වහාම අනෙකුත් පොලිස් ස්ථානද දැනුවත් කර මාර්ගයන්හි පොලිස් නිලධාරීන් දමා පරීක්ෂා කරන්නට විය. එහෙත් පොලිසිය සිතූ තරම් ඉක්මනින් සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වූයේ නැත.

කාලය ගෙවී ගියේය. දින, සති, මාස ගණන් ගෙවී යමින් තිබිණි. මෙම කොල්ලය සිදුවී දින කිහිපයකින් තවත් රන් භාණ්ඩ කොල්ලයක් ගිරිබාවේදීම සිදු විය. එහෙත් පොලිස් ඇස වසමින් එම කොල්ලකරුද හිමින් සීරුවේ මාරුවී ගොස් තිබිණි. ඉන්පසු කාලයක් යන තුරුම එවැන්නක් පිළිබඳ ගිරිබාව පොලිසියේ පැමිණිලි පොතේ කිසිදු පැමිණිල්ලක් සටහන් වූයේ නැත. එහෙත් විවිධ පොලිස් ස්ථානවලින් රන් භාණ්ඩ කොල්ලකෑමේ පැමිණිලි එකින් එක මතුව එන්නට වූ තැන එම සිදුවීම් පිළිබඳ පොලිස් නිලධාරීන්ටද ඇති වූයේ ප්‍රහේලිකාවකි. පොලිසිය ක්‍රියාත්මක විය. හැම ගසටම කෙටූ කොට්ටෝරුවන්ගේ අවසාන කෙටිල්ල වරදින්නට වැඩි කාලයක් ගියේ නැත.

ඔක්තෝබර් 09 වැනිදාට පහන් වී තිබිණි. තඹුත්තේගම ප්‍රදේශයේ මාර්ගයක ගමන් කරමින් සිටි එක්තරා කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලය කඩාගෙන ගිය බවට වූ පුවත ප්‍රදේශය පුරාම පැතිර ගියේ විදුලි වේගයෙනි. එහෙත් සොරුන් පැමිණි යතුරුපැදිය වේගයෙන් පලා ගිය නිසා පැමිණි දෙපළ අල්ලා ගැනීමට කිසිවකුටත් හැකියාවක් නොවිණි. එහෙත් කොල්ලකරුවන් නොසිතූ අයුරින් එක් අයකුගේ ජංගම දුරකතනය අදාළ සිද්ධිය වූ ස්ථානයට නුදුරින් බිමට වැටී තිබිණි. යළි හැරෙන්නට වෙලාවක් නැති නිසාම කොල්ලකරුවෝ ඒ වේගයෙන්ම ඉදිරියට ඇදුණහ. පොලිස් දැලට හසුවූ මසුන් දෙදෙනකු මෙන් සැකකරුවන් දෙදෙනා නීතියේ රැහැනට කොටූ වීමට එය ඕනෑවටත් වඩා හොඳ සාක්ෂියක් විය. පොලිස් නිලධාරීහු සිය රාජකාරි කටයුතු එදිනම ආරම්භ කළහ.

තලාව, තඹුත්තේගම, ගල්ගමුව, නොච්චියාගම මෙන්ම ගිරිබාව යන පොලිස් ස්ථානවලට පැමිණි රන් භාණ්ඩ කොල්ලකෑම් සම්බන්ධ පැමිණිලි 12කට මෙම පුද්ගලයන් දෙදෙනා වරදකරුවන් බවට දුරකතන දත්ත ඔස්සේ පොලිස් නිලධාරීන් විසින් සිදු කළ පරීක්ෂණවලින් සනාථ විණි. සැකකරුවන් සොයා පරීක්ෂණ ආරම්භ වූයේ ඉන් පසුවය. එහෙත් එක් සැකකරුවෙක් මෙම ප්‍රදේශය අතහැර පලා ගොස් සිටියේය. ඔහු දිනේෂ් පිලිප් ජූඩ් සිත්තප්පරම් නමැති ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි අයෙක් විය. අනෙක් සැකකරු රත්නායක මුදියන්සේලාගේ අජිත් ප්‍රියන්ත බණ්ඩාර නමැති හුරීගස්වැව, මකුලෑව ප්‍රදේශයේ අයෙක් විය. පොලිස් නිලධාරීන් එක එල්ලේ මකුලෑවේ සැකකරු වෙත කඩා පැන්නේ කරුණු සියල්ලම තහවුරු කර ගැනීමෙන් පසුවය. එදින අජිත් ප්‍රියන්ත අංගමුව ප්‍රදේශයේ සිය බිරියගේ නිවෙසේ සැඟව සිටියදී තඹුත්තේගම පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත්තේය. එමෙන්ම දිනේෂ් පිලිප් ද අජිත් විසින් ලබා දුන් තොරතුරු මත සැඟව සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරුවන් දෙදෙනාම පොලිස් කූඩුවේ වැටුණහ. පොලිස් ප්‍රශ්න කිරීම් ආරම්භ වූයේ ඉන් පසුවය. ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා 1992 වර්ෂයේ උසස් පෙළ විද්‍යා අංශයෙන් විභාගයෙන් සමත්ව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත්ව සිටි බවත්, එහි වසරකුත් මාස තුනක් අධ්‍යාපනය හදාරමින් සිටියදී පන්ති කාමරය තුළදී සිදුවූ වෛද්‍ය සිසුවකුගේ මරණයකට වැරැදිකරු වී නිට්ටඹුව, වතුපිටිවල පිහිටි තරුණ වරදකරුවන්ගේ අභ්‍යාස එළිමහන් විද්‍යාලයේ වසර 03ක් පුනරුත්ථාපනය වී තිබූ බවත් පොලිස් පොතේ මුලින්ම සටහන් විය. කාලකණ්ණිම සිදුවීම වන්නේ පුනරුත්ථාපන කඳවුරේදීය.

සැකකරු පුනරුත්ථාපන කඳවුරේ ගත කළ කාලයේදී අධික ලෙස හෙරොයින් පානය කිරීම සඳහා ඇබ්බැහි වී තිබිණි. ඉන් නිදහස ලබා සමාජය අතරට පැමිණි කල ඔහුව සමාජයෙන් ඉබේටම ප්‍රතික්ෂේප විය. ඉන් පසු ඔහු ගත් තීරණය වූයේ එංගලන්තයේ සිටින තම මවත් පියාත් ළඟට යෑමටය. ඔහු එංගලන්තය බලා පිටව යන්නේ ඉන් පසුවය. ඔහුගේ මව ඒ වන විටත් එංගලන්තයේ ශල්‍ය වෛද්‍යවරියක් ලෙස සේවය කරමින් සිටියාය. පියාද වෛද්‍යවරයෙක් ලෙස කටයුතු කරමින් සිටියේය. එංගලන්තයේදී ඔහු “ඔක්ස්ෆර්ඩ්” විශ්ව විද්‍යාලයට ඇතුළත්ව වසර 03ක් ගායනය හා වාදනය පිළිබඳ උපාධියක් හැදෑරුවේය. පසුව මාස 09කට ආසන්න කාලයක් එංගලන්තයේ රැකියාවක නිරතව සිටියේය. එම රටේ දී සැකකරුට එරෙහිව තිබූ රථවාහන නඩුවකින් වැරැදිකරු වීම නිසා ඔහුව එංගලන්තයෙන් පිටුවහල් කෙරිණි. ඒ 2003 වසරේදීය. ඉන් පසු ලංකාවට පැමිණ ජීවත්වන විට 2005 වසරේදී පාසලක සිදුවූ කිසියම් සිදුවීමක් සම්බන්ධයෙන් නැවතත් ඔහු කොළඹ මැගසින් බන්ධනාගාර ගත වන්නේ වසර එකහමාරක කාලයකටය. ඉන් නිදහස ලබා පැමිණෙන ඔහු 2008 සිට 2014 දක්වා වසර 07ක කාලයක් පුරා කුවේට්, බහරේන්, කටාර්, සෞදි වැනි රටවල්වල විවිධ රැකියාවල නිරතව සිටියේය. ඒ අතර කාලය තුළ ඔහු රාජාංගණය ප්‍රදේශයේ තරුණියක් සමඟ විවාහ වූවේය. ඉන් එක් ගැහැනු දරුවකු හා පිරිමි දරුවකු ලැබුවේය.

දිනේෂ්ට අජිත් ප්‍රියන්තව හමුවන්නේ තඹුත්තේගමදීය. ඒ 2015 දීය. බාබර් සාප්පුවකදී මුලින්ම හමුවන මේ දෙදෙනා ගජ මිතුරන් බවට පත්වන්නේය. අජිත් සමඟ එකතු වූ දිනේෂ් අධික ලෙස හෙරොයින් භාවිතයට පුරුදු වූයේය. දිනකට කුඩු පැකට් 02ක් 03 ක් වැනි ප්‍රමාණයක් ඔවුන් දෙදෙනාට නැතුවම බැරි විය. ඒවා මිලදී ගන්නට අධික මුදලක් දිනකට වුවමනා විය. කුඩු බොන්නට මුදල් නොමැති වීමේ අවසාන ප්‍රතිඵලය වූයේ කාන්තාවන්ගේ රන් මාල කොල්ලකෑමට යොමු වීමය. එදා පුංචි පැටවුන් පවා බිය ගන්වමින් පන්ති කාමරයට පැමිණ ගුරුතුමියගේ රන් මාලය කැඩුවේද කුඩු බීමේ දැඩි ආශාවෙන් පෙළුණු මේ දෙපළගෙන් අයෙකි.

දිනේෂ් පිළිබඳ එවැනි ආකාරයෙන් පොලිසිය කරුණු සටහන් කර ගනිද්දී අජිත් ගැනද තොරතුරු පොලිස් පොතේ සටහන්ව තිබිණි. අජිත් ප්‍රියන්තද අපරාධ කිහිපයක් සම්බන්ධයෙන් පොලිස් ස්ථාන කිහිපයකම පැමිණිලි ලැබූ අයෙකි. මීට මාස දෙකකට පමණ උඩදී හොර මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමේ චෝදනාවක් පවා ඔහුට ගොනු වී තිබිණි. ඔහු විසින් පිටරටින් මුදල් නෝට්ටු අච්චු ගැසීමේ යන්ත්‍ර පවා ගෙනැවිත් තිබූ බවට පොලිසිය කරුණු සනාථ කරගෙන ඇත. කෙසේ හෝ ගිරිබාවේ සිද්ධිය සිදුවී මාස 04ක් ගිය තැන සැකකරුවෝ නීතියේ රැහැනට කොටු වූහ. එසේම සැකකරුවන් විසින් කොල්ල කෑ රන් භාණ්ඩ විවිධ ප්‍රදේශවල උකස් මධ්‍යස්ථානවලට අලෙවි කර තිබියදී පොලිස් නිලධාරීන් විසින් සොයා ගන්නා ලදී.

චෝදනාකරුවන් තඹුත්තේගම පොලිසිය මඟින් මෙම මස 12 වැනිදා ගිරිබාව පොලිසිය වෙත භාර දුන් අතර ගිරිබාව පොලිස් ස්ථානය මඟින් සැකකරුවන් දෙදෙනා ගල්ගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. එහිදී අධිකරණය සැකකරුවන් මෙම මස 24 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය. 24 වැනිදා ඔවුන් අධිකරණයේදී හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කළ අතර ඉන් පසුව මෙම මස 27 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට ගල්ගමුව අධිකරණය නියෝග කළේය.