ඉදිරි මැතිවරණ සියල්ල කොට්ඨාස ක්‍රමයට

38
ඉදිරි මැතිවරණ සියල්ල කොට්ඨාස ක්‍රමය යටතේ පැවැත්වීමට කැපවී කටයුතු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ උතුරුමැද පළාත් සභා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රිවරුන් සමග ඊයේ පස්වරුවේ ජනාධිපති නිල නිවසේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

මෙහිදී ජනාධිපතිවරයා සඳහන් කළේ රටේ පවතින මනාප දේශපාලන ක්‍රමය තුළ දේශපාලනඥයන් රට ගැන සිතීමට පෙර තම පෞද්ගලික දේශපාලන ජයග්‍රහණයන් වෙනුවෙන් කටයුතු කිරීම සිදුවන බවයි.

ඒ තුළ ජනතා බලාපොරොත්තු සහ ජයග්‍රහණයන් ලබාදීමට නොහැකිවී ඇති බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙනවා.

ආණ්ඩුව තුළ සිටින ආණ්ඩුවට සහය පළ කරන ඇතැම් පාර්ශව විරුද්ධ වුවද තම මූලිකත්වය මත මනාප ක්‍රමය වෙනුවට කොට්ඨාස ක්‍රමය යටතේ පළාත්පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කිරීමට හැකිවීම ජනතා ජයග්‍රහණයක් බවයි ජනාධිපතිවරයා මෙහිදී පවසා ඇත්තේ.

රට තුළ පවතින සියලු මැතිවරණ එක් මැතිවරණ ක්‍රමයක් මත පැවැත්විය යුතු බවත්, ඒ අනුව ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය කොට්ඨාස ක්‍රමයට පැවැත්වීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී ප්‍රකාශ කළා.

ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය සඳහාත් මනාප ඡන්ද ක්‍රමය වෙනුවට කොට්ඨාස ක්‍රමය හඳුන්වාදීමට කැපවී සිටින බවයි ජනාධිපතිවරයා මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් අවධාරණය කර ඇත්තේ.

එමෙන්ම ජනාධිපතිවරයා විසින් ඊයේ පස්වරුවේ උතුරුමැද ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක තනතුරුවල වෙනසක් සිදුකර තිබෙනවා.

ඒ අනුව අනුරාධපුර දිස්ත්‍රික්කයේ හොරොව්පතාන ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම සංවිධායක ලෙස කටයුතු කළ හේරත් බණ්ඩා එහි ප්‍රධාන සංවිධායක ලෙස පත්කර තිබෙනවා.

කැකිරාව ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම සංවිධායක ලෙස කටයුතු කළ රෝහණ ජයකොඩි එහි ප්‍රධාන සංවිධායකවරයා ලෙස පත් කර ඇති අතර, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මින්නේරිය ආසනයේ හිගුරක්ගොඩ බල ප්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක ලෙස පත් කර ඇත්තේ චමින්ද ප්‍රදීප් රත්නායකයි.