රටට අවශ්‍ය ජනපතිවරණයක් නෙවෙයි. හොඳ අගමැතිවරයෙක් – මෛත්‍රී කියයි

9

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනයට අනුව මීළග ජනාධිපතිවරණයකින් පසු ජනාධිපතිවරයාගේ බලතල ඉතා සීමිත වන බවත්  රටේ ප‍්‍රධාන තනතුර වන්නේ අග‍්‍රාමාත්‍ය ධුරය බවත් ජනපති මෛත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.

රත්නපුර නිවිතගල පැවැති ශ්‍රීලනිප සාමාජික හමුවකදීයි ඔහු මේ බව සඳහන් කළේ.

ඒ අනුව දේශපාලන ක්ෂේත‍්‍රයේ සියලුදෙනාගේ සංවාදයට සහ සාකච්ඡාවට ලක්විය යුත්තේ මීළග ජනාධිපතිවරණයක් පිළිබඳව නොව රටට හොද අග‍්‍රාමාත්‍යවරයෙක් තෝරා පත් කර ගැනීම පිළිබඳව බවත් ජනපතිවරයා ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත්, එක්සත් ජාතික පක්ෂයත් දේශපාලන වශයෙන් අධි තක්සේරුවකට පත්ව ඇත්නම් එය ඔවුන් වරද්දා ගන්නා තැනක් බවත් තමන් ගැන තමන් විසින්ම කුමන තක්සේරුවකට පැමිණය ද ඔවුන් කිසිවෙකුට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය නොමැතිව තනිව ආණ්ඩුවක් ගොඩැනැගිය නොහැකි බවද ජනපතිවරයා සඳහන් කළා.

පුද්ගලයින් වටා ගොඩනැගෙන දේශපාලන ව්‍යාපාර තාවකාලික වන අතර රටට අවශ්‍ය වන්නේ දර්ශනයක් සහ දැක්මත් සහිත දේශපාලන ව්‍යාපාරයක් බවත් ඔහු වැඩිදුරටත්  කියා සිටියා.