මහින්ද කී දේට වාසු – වෙල්ගම හරහට. ගම්මම්පිල තවත් මතයක.

16

“ජනාධිපතිවරණ අපේක්ෂකයා, මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ සහෝදරයෙකුම විය යුතුය” යන්න ගැන තමන්ගේ එකඟත්වයක් නැති බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා.

නමුත් ජනාධිපති අපේක්ෂක වීමට සුදුසුකම් ඇති අයකු මහින්ද රාජපක්ෂ මහතාගේ සහෝදරයෙකු වීම ගැන තමන්ගේ විරෝධයක් නොමැති බව ද ඒ මහතා සඳහන් කරනවා.

ඉදිරි ජනාධිපතිවරණයේදී තම සහෝදරයාට ජනාධිපති අපේක්ෂකත්වය ලැබීමේ ඉඩක් ඇති බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේදී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කරමිනුයි ඔහු මේ බව කියා සිටියේ.

කෙසේ වෙතත් ඉන්දියාවේ දී මහින්ද රාජපක්ෂ මහතා කරන ලද ප්‍රකාශයේ සමස්තය සමග ගැටලුවක් නැති බවත් අවසානයේ සියලු දෙනා සාකච්ඡා කර තීන්දුවක් ගන්නා බව එහිදී සදහන් කර ඇති බවත් මන්ත‍්‍රිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් ඉන්දීය මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාද  විරෝධය පළ කර තිබුණා.

ඔහු සඳහන් කර තිබුණේ, පවුල් වාදය රටකට නොගැළපෙන බවයි. එසේම, පසුගිය ජනාධිපතිවරණයේදී  මහින්ද රාජපක්ෂ මහතා පරාජය වූයේ පවුල් වාදය නිසා බවයි.

පවුලේ සාමාජිකයන්ට මුල් තැන දී තිබූ නිසා එවක රජයේ ඇමැතිවරු සියලු දෙනා තරහ වූ බවද මන්ත්‍රීවරයා පෙන්වා දී තිබුණා.

මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය ජනාධිපතිවරණයේදී පොදු අපේක්‍ෂකයා වූයේ පසුගිය රජයෙන් ඔහුට හිමිතැන නොදුන් නිසා බවත්, මේ තත්ත්වය යටතේ ඉදිරියේදී තවත් සිරිසේන කෙනෙක් බිහි වේවි දැයි නොදන්නා බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා තිබුණා.

කෙසේ වෙතත්, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මම්පිල මහතා මාධ්‍යය හමුවේ පවසා තිබුණේ, ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති අපේක්ෂකයා වන බවට, හිටපු ජනපතිවරයා ඉන්දියාවේදී නියත විවරණ ලබා දුන් බවයි.