ජනබලය දා 25 දෙනෙක් තරු පහේ හෝටල් වල හිටියා, පහුවදා ඇමතිකම් ගන්න බලාගෙන – රනිල් වික්‍රමසිංහ කියයි.

5

ඒකාබද්ධ විපක්‍ෂයේ ඇතැම් පිරිස් පසුගිය 05 වැනිදා වත්මන් ආණ්ඩුව පෙරළා දමා, පසුදා අලුත් ආණ්ඩුවක් පත්කර ගෙන අමාත්‍ය ධුර ලබා ගැනීමට කොළඹ පිහිටි තරුපහේ හෝටල්වල ලැගුම්ගත් බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවා. ඔහු මේ බව පැවසුවේ හලාවත ප්‍රදේශයේ පෞද්ගලික උත්සව ශාලාවක පැවැති පාක්‍ෂික හමුවක් අමතමිනි.

එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

පසුගිය සැප්තැම්බර් මස 05 වැනිදා ඒකාබද්ධයේ අය කොළඹදී විරෝධතාවක් පැවැත්වුවා. මේ ආණ්ඩුව පෙරළා දාන්න. සමහරු ආවේ රැය පහන් වනතුරු ඉඳලා හරි ආණ්ඩුව පෙරළන්නයි. ඒ අතර ඇමතිකම් බලාගෙන හිටි අය කොළඹ තරුපහේ හෝටල්වල නතර වුණා. ඇමතිකම් ගන්න හිටිය 25 දෙනත් හිටියේ ඒ හෝටල් කාමරවල. මහින්ද රාජපක්‍ෂලා තවම මේ රටේ ජනතාවගේ හැඟීම් හඳුනා ගෙන නැහැ. අපි නම් එය හඳුනා ගත්තේ 2015 දී.

අපි වැටුප් වැඩි කළා. රෝගීන්ට සහන රැසක් දුන්නා. අත්‍යවශ්‍ය ඖෂධ මිල අඩු කළා. ඉන්දිය රියදුරන් ගෙන්වා ගෙන අපි 1990 ආරම්භ කළා. එයින් තමයි අපි අර විරෝධතාවට ආපු පිරිස් රෝහලට යැව්වේ. ඒවා ඒ.සී. වාහන. ඒකට අපට ස්තුතිය පළකළේත් නැහැ. ළඟම පාසල හොඳම පාසල, පෝෂණ ආහාරයක් දරුවන්ට දීම, විධිමත් පදනමකින් විදුහල්පතිවරුන් පත්කර ගැනීම සිදු කළා. මහපොළ ඉහළ දැම්මා. උදාගම් මෙන්ම වතු නිවාස හැදුවා. අපි මේවා කරන්නේ ඉතා අමාරු කාලයේ. ඒක අමතක කරන්න එපා. මෙවන් වැඩ ගොඩක් කර තිබෙනවා. අලුතින් කියන්න ඕනෑ නැහැ.