ආච්චි ළඟ නිදා සිටි සිඟිති දියණිය සොයා ආ මාරයා

279

ඡායාරූප සඳහා පහළට යන්න

පේරාදෙණිය ගලහා මාර්ගයේ මහකන්ද හල්ඔය ප්‍රදේශයේ නිවසක් මතට ගලක් පෙරැළී යෑම හේතුවෙන් කුඩා දරියක මිය ගොස් ඇගේ මිත්තනිය තුවාල ලබා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබේ. පවතින අධික වර්ෂාව සමඟ එම විපතට ලක්ව මියගොස් ඇත්තේ ඩී.එම්. උදාරි සෙහාරා තිලකරත්න නමැති හත් හැවිරිදි දැරියකි. ඇය හිඳගල සීවලී මහ විද්‍යාලයේ 2වන වසරේ ඉගෙනුම ලබන්නීය.

පෙරේදා (28) රාත්‍රී 8.00ට පමණ එම විපත සිදු වී තිබේ. නිවසේ සාලයේ නිදා සිටි දැරිය වර්ෂාව නිසා සීතල යයි පවසා මිත්තනිය සිටි කාමරයට ගොස් ඇගේ අඳේ නිදාගෙන සිට ඇති අතර ඒ අවස්ථාවේ මිත්තනිය ඇ‍ඳේ සිටිමින් ඇඳුමක් මසින් සිට ඇත. නිවසට ඉහළින් ඇති කඳු මුදුනේ සිට පෙරළී ආ ගලක් වහලයද කඩාගෙන මොවුන් නිදාසිටි ස්ථානයට වැටී ඇත. දැරියගේ හිස මතට ගල වැටී ඇති අතර මිත්තනියද බරපතළ තුවාල ලබා ඇති බව පරීක්ෂණ පවත්වන පේරාදෙණිය පොලිසිය පවසයි. මොවුන් දෙදෙනා පේරාදෙණිය රෝහලට රැගෙන ගියද දැරිය මිය ගොස් ඇති බව අනාවරණ්‍ය විය.

වෙනත් දිනවල මෙම ස්ථානයේ නිදා ගැනීම සිදුකර ඇත්තේ මිය ගිය දැරියගේ සහෝදරයා වන අතර එදින ඔහු ඔවුන්ගේ කුඩා නැගනිය නිදිකරවන ස්ථානයේ සිටීම නිසා ඔහු හාස්කමකින් මෙන් බේරී ඇත. නිවසට ඉහළින් තවත් අනතුරුදායක ගල් විශාල ප්‍රමාණයක් ඇති බව ප්‍රදේශවාසීන් පවසන අතර එය ගම්වැසියන්ගේ ජීවිතවලට දැඩි අනතුරක් බවද ප්‍රදේශවාසීහු පවසති. ආපදාව නිසා දැරියගේ දේහය වෙනත් නිවසක තැබීමට සූදානම් කර ඇත.