යෝනි ප්‍රදේශයේ පිරිසිදුකම ගැන මේ කරුණු දන්නවාද? (කාන්තාවන්ට පමණයි)

5071

“අනේ අද මට සනීප නෑ”

“මං මේ ගෙවෙන්නේ මාසේ එපාම කරන දවස් ටික”

හැම මාසෙකටම වතාවක් ඔයත් මෙහෙම හිතනවා නේද?

මාස් ශුද්ධිය නැත්නම් මාසික ඔසප්වීම කියන දේ ඔයාට මේ වෙනකොට හුරුපුරුදු කාරණයක් වෙන්න ඇති. සමහරවිට තාමත් පාසල් යන වයසේ ඉන්න ඔයාට අලුත් අත්දැකීමක් වෙන්න ඇති. ඒ කොහොම වුනත් තරුණියක්, කාන්තාවක් වුණු ඔයා මාසිකව මුහුණ දෙන මේ අත්දැකීම එක්ක යෝනි ප්‍රදේශයේ පිරිසිදුබව ගැන සැලකිලිමත් වෙන්න ඕනේ කොහොමද කියන එක ගැන තමයි අපි මේ ලිපියෙන් කතාකරන්නේ.

ගැහැණු පිරිමි භේදයක් නැතුව අපි හැමෝම පිරිසිදුකම පිළිබදව සැළකිලිමත් වෙන්න ඕන කියලා ඔයා දන්නවා. ඒත් ටිකෙන් ටික වැඩිවියට පත්වෙන කොට පිරිමි ළමයෙක්ට වඩා ගැහැණු ළමයෙක්ගේ පිරිසිදුකම ගැන ගොඩාක් සැළකිලිමත් වෙන්න ඕනි.

ගැහැණු ළමයෙක්ගේ පිරිසිදුකම කිව්වම විවිධ අදහස් සමාජෙ තියෙනවනේ. ඒත් අපි මේ කතාකරන්නේ ගැහැණු ළමයාගේ ශරීරයේ එහෙමත් නැත්නම් යෝනි ප්‍රදේශයේ තිබිය යුතු පිරිසිදුකම ගැනයි.

උපතේ ඉදලාම ගැහැණු දරුවෙක්ගේ යෝනි ප්‍රදේශය තියෙන්නේ පිටතට විවෘත වෙලා. ඒවගේම තමයි ඒ අවට ස්වභාවිකවම තියෙන තෙත ගතිය නිසා යෝනි ප්‍රදේශය අවට අපිරිසිදු වෙන්න තියෙන ඉඩකඩ වැඩී. මාසෙකට සැරයක් ඇතිවෙන ඔසප්වීමකදි මේ තත්ත්වය කොයිතරම් ඉහළ යනවද කියලා ඔයාට දැන් තේරෙනවා ඇති.

තවමත් තරුණ වයසේ ඉන්න ඔයාට විතරක් නෙවෙයි ඕනම වයසක ඉන්න කාන්තාවකට මේ යෝනි ප්‍රදේශය අවට අපිරිසිදු වුනොත් ඇතිවෙන්න පුළුවන් ලෙඩ රෝග අතරේ සුද යාම, මූත්‍ර ආසාදනය, ඉකිලිය කැසීම වගේ දේවල් ප්‍රධානයි.

මාස් ශුද්ධිය නැත්නම් ඔසප් කාලයේදී කාන්තාවන්ට දිය නෑම අහිතකරයි කියන දේ බොහෝදෙනෙක් පිළිගන්නා කාරණයක් වුනත් එය වැරදි මතයක්.

ඔසප් කාලයේදී යෝනි ප්‍රදේශය අවට විෂබීජ ඇතිවීම නිසා පැසවීම, කැසීම වගේම දුගදක් ඇතිවීමත් වෙන්න පුළුවන්.

ඉතිං වෛද්‍යවරුන් උපදෙස් දෙන්නේ මේ තත්ත්වයන්ගෙන් බේරෙන්න නම් ඔසප් කාලයේ දිය නෑම අවශ්‍යමයි කියලයි. දිය නෑම නිසා ඔසප් කාලයේදී කිසිම ලෙඩක් ඇති නොවෙන බව ඔවුන් කියනවා.

කාන්තාවකගේ යෝනි ප්‍රදේශය අපිරිසිදු වීමත් එක්ක බහුලව හටගන්නා තත්ත්වයක් විදියට සුදයාම හදුන්වන්න පුළුවන්. සරලවම කිව්වොත් සුදයාම කියන්නේ දිලීර රෝගයක්. ඔසප්වීමත් එක්ක කාන්තාවකගේ යෝනි ප්‍රදේශයේ ස්වභාවිකවම තියෙන තෙතමනය තවත් වැඩිවෙනවා. ඉතිං ඒ නිසාම දිලීර හරිම පහසුවෙන් යෝනි ප්‍රදේශය පුරාම පැතිරෙනවා. මේ හේතුව නිසාම ඔයා ඔසප් කාලයේදී වගේම එදිනෙදා ජීවිතයෙදි මුත්‍ර පහකරාට පස්සේ එම ප්‍රදේශය හොදින් සෝදලා පිසදමලා වියළිව තියාගන්න ඕන.

යෝනි ප්‍රදේශය අවට තියෙන රෝම ගොඩාක් වැඩීනම් ඔයාට පුළුවන් ඒවා තරමක් හෝ ඉවත්කරගන්න. බටහිර රටවල කාන්තාවන් නම් ඒවා සම්පූර්ණයෙන්ම වගේ ඉවත් කරනවා. ඒකෙන් යෝනි ප්‍රදේශය අවට අසාදනයන් ඇතිවෙන්න තියෙන ඉඩකඩ ගොඩාක් අඩු වෙනවා. අපේ රටේ නම් ඒ වගේ පුරුදු ගොඩාක් අඩුයි. ඒ වගේමයි ඔයා කොච්චර සැලකිල්ලෙන් යෝනි ප්‍රදේශය වියළිව තියාගත්තත් රෝම ගොඩාක් තියෙන කොට ආසාදන තත්ත්ව නිකම්ම ඇති වෙනවා. ඉකිලිය කැසීම, සුද ඒම, දැවිල්ල වගේම ඉකිලිය මත දද ඇතිවීමත් අධිකව වැවුණු රෝම නිසා ඇතිවෙන්න පුළුවන්. ඉතිං මේ අපහසුතාවලින් මිදෙන්න නම් ඔයා, ඔයාගේ යෝනි ප්‍රදේශයේ පිරිසිදුකම ගැන ගොඩාක් හිතන්න ඕන නේද?

ඒ වගේමයි යෝනි ප්‍රදේශයෙන් අසාමාන්‍ය දුගදක් හමනවානම්, සුදු පාටට කිරි වගේ නැතිනම් දුඹුරු පාටට ශ්‍රාවයක් පිටවෙනවා නම් කිසිම වෙලාවක ඒවා කසන්න යන්න එපා. ඔයා දන්නෙම නැතුව ඒවා ඔයාගේ යෝනි ප්‍රදේශයේ බරපතල ආසාදන ඇතිකරන්න පුළුවන්.

ඉතිං මේ වගේ තත්ත්වයක් හදුනාගත්ත ගමන් ඔයා වෛද්‍යවරයෙක් ළගට ගිහිං ඉක්මන් ප්‍රතිකාර ලබාගත යුතුමයි. ඒවගේ තත්ත්වයක් ගණන් නොගෙන හිටියොත් ඔයාට නිකරුනේ බරපතල රෝග වලට ගොදුරු වෙන්නත් සිදුවේවි.

අපි මේ කතාකරමින් ඉන්නේ යෝනි ප්‍රදේශය අපිරිසිදුවුනොත් ඔයාට විදින්න වෙන අපහසුතා ගැනනේ. ඕනෑවට වඩා පිරිසිදු වෙන්න ගියොත් වෙන්නෙත් ඒ ටිකමයි කිව්වොත්? ඔව්. එහෙම අවස්ථාත් තියෙනවා.

සමහර කාන්තාවන් මේ යෝනි ප්‍රදේශය අවට නිතරම සබන් යොදලා සෝදනවා. ඒ වගේමයි වතුර ගොඩකින් ඒ ප්‍රදේශය තෙත් කරනවා. ඒකෙන් මේ ප්‍රදේශය තුළ තියෙන්නම ඕන ස්වභාවික විෂබීජ නාශක විනාශවෙලා යන්න පුළුවන්. ඒ නිසා ඔයා නිතරම සබන් යොදලා සෝදන්න යන්න එපා. යෝනි ප්‍රදේශය පිරිසිදු කරන්න විශේෂයෙන් නිපදවපු දියර වර්ග රාශියක් අද ගොඩාක් සුපර් මාකට්වල, ෆාමසිවල තියෙනවා. ඔයා ඒවා පාවිච්චි කරනවා නම් හොද බ්‍රෑන්ඩ් එකක් තෝරගන්නත් එක් වරකට ඉතාම සුළු දියර ප්‍රමාණයක් යොදා ගන්නත් සැලකිලිමත් වෙන්න.

ඒ විතරක්ම නෙවෙයි ගොඩාක් ආසාවෙන් වවන ඔයාගේ අත්වල නියපොතුත් යෝනි ප්‍රදේශය ලෙඩ කරවන්න පුළුවන්. මොකද ඔයා මුත්‍රා පහකරාට පස්සේ ඒ ප්‍රදේශය සෝදන කොට දිගට වැවුණු නියපොතු අතර තියෙන විෂබීජ ඉකිලිය පුරා පැතිරිලා ආසාදන ඇතිකරන්න තියෙන ඉඩ වැඩී. ඒකෙන් ඉකිලිය පුරා දද, පුස් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්.

ඉතිං අද 24News.lk – LIFE අතිරේකයෙන් අපි කතාකරපු මේ කාරණා ඔයාට ගොඩාක් වැදගත් වෙන්න ඇති. තවත් මේ වගේ ඔයා නොදන්න ගොඩක් දේවල් දැනගන්න අපිත් එක්කම රැදිලා ඉන්න.