ගිණිගත් බ්‍රසීල කෞතුකාගාරය කඩිනමින් ඉදිකෙරෙයි.

11

ගින්නෙන් විනාශ වූ කෞතුකාගාරය කඩිනමින් යළි ඉදිකරන බව බ‍්‍රසීල රජය ප‍්‍රකාශ කළා. කෞතුක වස්තුවලින් සියයට අනූවක් පමණ විනාශ වී තිබෙනවා. ඒ අතර පෞරාණික මානව විද්‍යාත්මක වස්තූන් ද වන බවයි බලධාරින් පවසන්නේ. යුනෙස්කෝ සංවිධානය සමඟ ද අදහස් හුවමාරු කර ගැනීමයි ඔවුන්ගේ අපේක්ෂාව. පුළුල් විමර්ශනයක් ද මේ වනවිට ආරම්භ කර තිබෙනවා.

බ්‍රසීලයේ රියෝ ද ජැනීරෝ නගරයේ ජාතික කෞතුකාගාරයේ ඇති වූ ගින්නකින් කෞතුක භාණ්ඩ මිලියන 20කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බව විශ්වාස කරනවා.

බ්‍රසීලයේ පැරණිතම විද්‍යා ආයතනය ලෙස සැලකෙන මෙම කෞතුකාගාරය තුළ ඇමෙරිකාවෙන් සොයාගත් පැරණිතම මානව කොටස්ද පවතින බව විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

බලධාරීන් විශ්වාස කරන්නේ මිලකළ නොහැකි මේ භාණ්ඩ පවා විනාශ වන්නට ඇති බවයි.

වරෙක පෘතුග්‍රීසි රාජකීය පවුලේ වාසස්ථානය ලෙසද සැලකුණු මෙම මන්දිරය, පසුව කෞතුකාගාරයක් බවට පත්වූ අතර, එය මෙම වසරේදී 200 වැනි සංවත්සරය සැමරුවා.

ඉරිදා රාත්‍රියේදී ගින්න ඇතිවී තිබුණු අතර, එම අවස්ථාවේදී කෞතාකාගාරය වසා දමා පැවති බවයි පැවසෙන්නේ.

එම අවස්ථාවේ සිට ගිනි නිවන භටයන් විශාල පරිශ්‍රමයක් දරමින් ගින්න මැඩපැවැත්වීම සඳහා උත්සාහ කරමින් සිටියා.