ඉන්දුනීසියාවේ භූ කම්පනයේ හා සුනාමියේ අලුත්ම තත්ත්වය.

15

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක් සහ සුනාමි තත්ත්වයක් ඇති වූ සුලවේසි දූපත ආශ්‍රිතව තවත් ප්‍රබල පසු කම්පන කිහිපයක් ඇතිවී තිබෙනවා.

පසුගිය සිකුරාදා රික්ටර් පරිමණ 7.5ක් ලෙස සටහන් වෙමින් වෙරළෙන් ඔබ්බෙහි ඇති වූ භූ කම්පනය සුලවේසි දූපතේ පාලු නගරය දැඩි බලපෑමකට ලක්වූ අතර, පසුව මීටර් 2ක් පමණ උදම් රළ සමග සුනාමි තත්ත්වයක්ද ඇතිවුණා.

මේ සියලු ව්‍යසනයන් සමග නගරයේ මුස්ලිම් පල්ලි ඇතුළු ගොඩනැගිලි රැසක් කඩා වැටුණු අතර, සුනාමි තත්ත්වය සමග මුහුද ගොඩගැලීමෙන්, ව්‍යසනය දෙගුණ තෙගුණ වුණා.

ඒ අනුව, මේ වනවිට පසුගිය සිකුරාදා ඇති වූ භූ කම්පනයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 384 දක්වා ඉහළ ගොස් ඇති අතර, තවත් 500 ක් පමණ දෙනා තුවාල ලබා තිබෙනවා. එමෙන්ම, අතුරුදන් විශාල පිරිසක් සිටින බැවින් මරණ සංඛ්‍යාව වැඩිවිය හැකි බවත් පැවසෙනවා.

මියගිය අයගේ සිරුරු නගරයේ වීදිවල තැන තැන තබා ඇති අතර, තුවාලකරුවන් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර මේ වනවිට ඇති වෙමින් පවතින ප්‍රබල පසු කම්පන හේතුවෙන් සෙසු ජනතාවද දැඩි භීතියකට පත්ව සිටිනවා.

බලධාරීන් සඳහන් කරන්නේ මෙම දරුණු ඛේදවාචකයෙන් සිදුවූ හානිය මෙතෙක් ගණනය කළ නොහැකි මට්ටමක පවතින බවයි.

ඉන්දුනීසියාව භූ කම්පන කලාපයක පිහිටි රාජ්‍යයක් වන අතර, 2004 වසරේ ආසියානු කලාපයටම බලපෑම් කරමින් සුමාත්‍රා හි ඇති වූ ප්‍රභල භූ කම්පනයෙන් හා සුනාමි තත්ත්වයෙන් ඉන්දුනීසියාවේ පමණක් 120,000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා.