වික්ටර් චිංචිමානවිකාවත් ඈඳගෙන ඉරාජ්ට රිදෙන්න දුන්න පිළිතුර මෙන්න

448

අතීතයේ සුභාවිත ගීතය පෝෂණය කළ වික්ටර් රත්නායකයන් නැවත කරළියට පැමිණියේ නවතම ගීතයක් සමග‍යි. “මගේ සඳ ඇවිත් ” ලෙස නම් කළ එම ගීතයට ලැබී තිබුනේ ඉමහත් රසික ප්‍රතිචාර‍යක්. සිය නවතම ගීතය පිළිබදව වික්ටර් රත්නායකයන් පුවත්පතක් සමග සාකච්ඡාවකට එක් වෙමින් බොහෝ දේ හෙළිකර තිබුනා.

ඔබේ අලුත්ම ගීතයෙන්ම මේ කතාබහ අරඹමු

ඇත්තටම මේ ‘මගේ සඳ ඇවිත්‘ ගීතය පිළිබඳව මම ඉන්නේ සතුටින්.එයට ප්‍රධානම හේතුව තමයි මේ පදමාලාව අරුත්බර එකක් වීම සහ ගීතයේ අරුතට හානියක් නොකර ඒ අරුත්බර බව නරඹන්නන්ට වඩාත් දැනෙන ලෙස කරලා තිබුණු රූප රචනාව.

අද ගීත ජනප්‍රිය කරන්නට රූප රචනා කරන එක අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා.ඒ වගේම අද බොහෝ ගීත වල රූප රචනා කරන්නේ චිත්‍රපට රූපගත කරනවා වගේ. ඒ විතරක් නෙමේ සුලබව හොයාගන්න පුළුවන් කෙල්ලෙක් කොල්ලෙක් අරගෙන ගීතයෙන් කියැවෙන අර්ථයට කොහෙත්ම ගැළපෙන්නේ නැති වෙනස්ම කතාවක් රූපගත කරන එක තමයි ගොඩක් දෙනෙක් කරන්නේ. නමුත් මගේ සඳ ඇවිත් ගීතයට හානියක් නොකර ගීතය රූප රචනාව කිරිම තමයි මගේ ලොකුම සතුට.

මේ පද රචනය පිළිබඳව කතා කළොත්

මේ පද රචනා කළ චන්දන මනෝජ් විතාන එංගලන්තයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයෙක්. අපි තවමත් එකිනෙකා මුහුණට මුහුණ හමුවෙලා නැහැ කතා බහ කරලා නැහැ. දවසක් ඔහු මට දුරකතනයෙන් කතා කරලා කිව්වා ඔහු ලියූ ගිතයක් තිබෙනවා. මට ගායනා කරන්න පුළුවන්ද කියලා. ඉතින් මම කිව්වා ඉස්සෙල්ලම පද ටික මට දෙන්න මම බලලා කියන්නම් කියලා. ඒ අනුව චන්දන මට මේ වචන ටික ඊ මේල් කළා. මම මේක බැලුවාම ඇත්තටම හොඳ වචන ටිකක්. ඉතින් මම ගායනා කරන්න තීරණය කළා. ඒ අනුව තමයි මේ ගීතය නිර්මාණය වුණේ.

මේ ගීතය ඇසෙනකොට අපි යළිත් අතීතයට රැගෙන යනවා. ඒ මෙහි ඇති ඔබටම අනන්‍ය වූ තනුවත්, ගායනයත් නිසා

ඒ කාලයේ ප්‍රේම කීර්ති, සුනිල් ආරියරත්න වැනි මා සමඟ නිර්මාණ කළ ගීත රචකයින් සමඟ ගීත නිර්මාණය කරද්දී අපි මුණ ගැහිලා ඒ ගැන කතා කරනවා. තනුව හදනකොටත් මාළඟ වාඩිවෙලා ඉඳගෙන ඉන්නවා. ඒත් මේ ගීතය නිර්මාණය වුණේ එහෙම නෙමෙයි. අද එදාට වඩා තාක්ෂණය දියුණුයි. චන්දන ඉන්නේ විදෙස් රටක. වචන ටික මට ලැබුණෙ ඊමේල් එකෙන්. අපි ස්කයිප් වලින් කතා කරලා තමයි මම මේ තනුව යෙදුවෙ. මම හාමෝනියම් එක වාදනය කරමින් තනුව යොදන කොට චන්දන ස්කයිප් එකෙන් ඒක බලාගෙන හිටියෙ. එදා වගේ එකට වාඩිවෙලා මුහුණට මුහුණ බලාගෙන නොහිටියට අපි ස්කයිප් වලින් එකට එකතුවෙලා තමයි මේ ගීතය නිර්මාණය කළේ. ඒ කිව්වේ අපි අලුත් තාක්ෂණයට අනුගත වෙලා කළ නිර්මාණයක් කියන්න පුළුවන්.

මම කොහොමත් නිර්මාණයක් කරන කොට ගේය පද රචනාව දිහා බලලා මමත් ඊට අනුගත වෙලා තමයි ඒක කරන්නේ. සංගීත සංයෝජනය කරන කොට රාගධාරී සංගීතය බටහිර සංගීත ශිල්ප ක්‍රම ඉවහල් කරගෙන තමයි සාර්ථක නිර්මාණයක් බිහිකරන්නේ. මේ නිර්මාණයත් එහෙමයි.

අතීතයේ ඔබ ගායනා කළ පද රචනා සහ මෙම මගේ සඳ පද රචනාව අතර කිසියම් සමාන කමක් අපට දැනෙනවා

ඇත්තෙන්ම මෙම පද රචනාව ගත්තම අතීතයේ සිටි පද රචකයින්ගේ පද රචනා සමඟ සසඳන්න මට වුවමනාවක් නැහැ. අද බොහෝ ගීත ගත්තාම ඒවාට ගේය පද රචනා කියන්න බැහැනෙ. ගේය පද රචනාවක් කියන්නේ ගැයීමට සුදුසු පද කියන එකයි. නමුත් අද බොහෝ ගීත කියලා ප්‍රචාරය වෙන ඒවායේ අපි දකින්නේ දැඩි අඳෝනා. අපි සාමාන්‍යයෙන් අඬනවා, වැලපෙනවා කියන දේ දකින්නේ ගැහැනු චරිත වලට ඇබ්බැහිවුණු, කාන්තාවන්ට ආවේනිකවුණු අනුගතවුණු පුරුද්දක් හැටියටනෙ. නමුත් අද ගොඩක් පිරිමි ගීත ගයනවා කියලා කරන්නේ මේ විදියට අඬන එක. ප්‍රේම ගීතයක් කියන්නේ අඬ අඬා ප්‍රේමය ඉල්ලන එක නෙමේ. ප්‍රේමය, ශෘංගාරය ඊට වඩා රසාලිප්තව ඉදිරිපත් කරන්න පුළුවන්.
ප්‍රේමය, ආදරය, සෙනෙහස වැනි දේ තුළ තිබෙන ඉතා සියුම් වින්දනාත්මක පැත්තක් මෙම පද රචනාව තුළින් චන්දන ඉදිරිපත් කරලා තිබෙනවා. චන්දන තව ඉදිරියට ඉතාම හොඳ ගීත ලියන කෙනෙක් බවට පත්වේවි කියලා මට හිතෙනවා. මොකද ඔහුගේ මේ ආරම්භය ඉතාම සාර්ථකයි.

අතීතයේ ගීත නිර්මාණය කළ යුගය සහ තාක්ෂණය ගැන කතා කළොත්

ඒ කාලයේ අපිට දුරකතන පහසුකමක් වත් තිබුණෙ නැහැ. අද අපිට පිටරටක ඉන්න කෙනෙක් එක්ක පවා මූණෙන් මූණ බලාගෙන කතා කරන්න පුළුවන් ස්කයිප් එක හරහා. තාක්ෂණයේ දියුණුව කොතෙක්ද කියනවා නම් දැන් චන්දන එංගලන්තයේ ඉඳන් මම ලංකාවේ ඉඳන් කතා කරනවා මූණට මූණ බලල. අර මම කිව්වේ අපි සංවාදශීලීවෙලා නැහැ කියල ලක්බිමේ එකතැනක වාඩිවෙලා ඉඳගෙන කතාබහ කරලා නැති එකයි. නමුත් ඒ කාලයේ අපි තනු නිර්මාණය කළේ අවම පහසුකමක් යටතේ. නමුත් අද අපිට කිසි ප්‍රශ්නයක් නැහැනෙ. මම හාමෝනියම් එක ගහල මේ තනුව හදන එක පවා එයාට එහෙ ඉඳලා බලාගෙන ඉන්න පුළුවන්. නව තාක්ෂණයේ දියුණුවත් එක්ක ඒ තාක්ෂණික මෙවලම් භාවිත කරල අපේ නිර්මාණවලට තව ආලෝකයක් එක්කරගන්න අපිට පුළුවන්. නමුත් අතීතයේදී අපිට මුණගැහීම අනිවාර්ය වුණා මොකද දුරකතන පහසුකමක් වත් තිබුණේ නැති නිසා.

මෙම රූප රචනාව ගැන ඔබේ අදහස?

ගීතය පටිගත කරන කොට වාදකයින් විදියට කටයුතු කළේ වෙනත් පිරිසක්. ගීතයේ රඟපාන දෙදෙනා කිසිම සම්බන්ධයක් නැහැ මෙම ගීතය පටිගත කිරීමට. නමුත් ඔවුන් දෙදෙනා හොඳ අවබෝධයකින් රූපගත කිරීමේදී හොඳින් ඒ දේ කරල තිබෙන බව පේනවා. මම විදෙස් සංචාරයකට ගිහින් ආවේ ඊයේ. මම මෙම ගීතයේ නිමාව දැක්කේ ෆෝන් එකෙන්. නමුත් මේ දින කීපයට මෙම ගීතය ලක්ෂ ගණනාවක් බලලා තිබෙනවා කියලා දැනගන්න ලැබුණා. ඒ කියන්නේ රේටින් වලින් දැන් ඉහළටම ඇවිත් තිබෙනවා. ඒ ගැන සතුටුයි.

ගීතයට සම්බන්ධ වාදන ශිල්පීන් පිළිබඳව සඳහන් කළොත්?

මෙම ගීතයේ තබ්ලා වාදනයෙන් සම්බන්ධ වුණේ නිහාල් කළුබෝවිල. ඔහු සෞන්දර්ය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය වරයෙක්. වයලීනය වාදනය කළේ සනත් සතිස්චන්ද්‍ර සහ දිල්පහන්. පදරුක් ස්ටූඩියෝ එකේ තමයි පටිගත කළේ.

මේ දිනවල පැතිරීයන මියුසික් වීඩියෝව ගැන කතා කළොත්?

මම ඒ ගැන කතා කරන්න කැමැති නැහැ. එහෙම කතා කළොත් ඒ ගොල්ලන්ට ඒකෙන් ප්‍රසිද්ධියක් ලැබෙනවා මිසක් ඒ කෙන් මට කිසිම ඩැමේජ් එකක් වෙලා නැහැ. බූමරංගය වගේ එයාටම ආපහු වදිනවා මිසක් මගේ ජනප්‍රියත්වයටවත් මුකුත් හානියක් වෙලා නැහැ. ඔතනදී කියන්න තියෙන්නේ අර දරමිටියක් බඩේ බැඳගෙන චිංචිමානවිකාව බුදු හාමුදුරුවෝ ඉස්සරහට ආවහම එයාට කරුණාව මෛත්‍රිය දැක්වුවා මිසක් බුදුහාමුදුරුවෝ මුකුත් කරන්න ගියේ නැහැනෙ. ඒවායේ ප්‍රතිපල සහ විපාක ඒ අයටම විඳින්න වෙනවා කියන එක තමයි මට කියන්න තියෙන්නේ.

වසර කීයකට පසුවද මේ මගේ සඳ ගීතය නිර්මාණය කළේ?

මම එහෙම නිහඬව ඉඳල නැහැ. හැමදාම නිර්මාණ කළා. එහෙම නිහඬව අකර්මණ්‍ය වෙලා හිටියෙ නැහැ. අලුතෙන් කොච්චර නම් කරලා තිබෙනවද? නමුත් ප්‍රශ්නය තියෙන්නේ එෆ් එම් නාළිකා පනස් ගණනක් තිබුණත් මේ අපේ අලුත් ගීත ප්‍රචාරය කරන්නෙ නැහැනෙ. ඒක තමයි අද ක්‍රම වේදය. අද ප්‍රවණතාව ඕක තමා. අපි ඒකට කෑ ගහන්න ඕන නැහැ. මෙම ගීතය ජනප්‍රිය වීම ඒවාට පිළිතුර වශයෙන් ලැබිලා තියෙනවා. මීට අමතරව මම නිර්මාණ ගණනාවක්ම පහුගිය මාස තුන හතර ඇතුළත කරලා තිබෙනවා. ඒවා යූ ටියුබ් එකට යන්නත් රූප ගත කරන්න ඕනැනෙ. එහෙම වුණොත් විතරයි මේවා මිනිස්සු අතරට යවා ගන්න පුළුවන්. අද තියෙන තාක්ෂණය ඕකනේ. fm නාළිකාවල තියෙන්නේ වෙනම පැකේජ් සිස්ටම් එකක්නෙ. අද අපි පගාව දීලා ගීත ප්‍රචාරය කරගන්න ඕන. එහෙම දේවල් වලට කවදාවත් අපි අනුගත වෙන්නෙ නැහැනෙ.එදත් නැහැ. අදත් නැහැ. හෙටත් නැහැ.

කොටින්ම ලංකාවේ පළමුවරට හින්දි භාෂාවෙන් ගීත 18 ක් කරලා ඉදිරිපත් කරපු මම ගැන එක අකුරක් කොහේවත් සඳහන් කරලා නැහැ. එක වචනයක් ගුවන් විදුලි මාධ්‍යයෙන්වත් රූපවාහිනී මාධ්‍ය කතා කළේ නැහැනෙ. මම මේ කාටවත් දොස් කියනවා නෙමේ. ඔබ ප්‍රශ්න කරපු නිසා උත්තරයට කියන්නේ. අද අපේ ජනමාධ්‍ය කියන එක වෙන වෙන අනවශ්‍ය දේවල් කතා කරනවා මිසක් මෙන්න මෙහෙම දෙයක් අපේ සංගීත කලාවට, නිර්මාණ ලෝකයට දායාද කරලා තියෙනවා කියල කිසිදෙයක් කතා කරන්නේ නැහැ. ඕවට අපි හිතේ අමාරු හදාගෙන කාටවත් දොස් කිය කිය ඉන්න ඕ්නත් නැහැ. කාලෙන් කාලෙට වෙන දේවල්වල හැටි ඔහොම තමා.

ඉතින් මම වසර ගණන් නිහඬව හිටපු කෙනෙක් නෙමෙයි. අනන්ත අප්‍රමාණ නිර්මාණ කරලා තියෙනවා. අලුත් අයට පවා ගීත නිර්මාණ කළා. ලංකා බැංකුවේ සේවය කරන ඉන්ද්‍රානී කියන මහත්මියකගේ ගීත දෙක තුනක් කළා. ඉතාම සාර්ථක ගීත කිහිපයක්. නමුත් ඒවා රූප මාධ්‍යයෙන් ගේන්න කටයුතු කළේ නැහැ. ඒ නිසා ඒවා වැඩි ප්‍රසිද්ධියට පත්වෙලා නැහැ.

අපි පෙර කියූ හින්දි නිිර්මාණ පිළිබඳව කතා කරමු 

මෙය ගීත 18 ක සී ඩී තැටියක්. මගේ මතකය නිවැරැදි නම් 2012 වසරේ වගේ තමයි කළේ. යශෝධා විමලධර්ම ගීත 10 ක් රචනා කරලා තියෙනවා. අනෙක් ගීත රචනා කළේ සුනිල් කුමාර. ඔහු දැන් අප අතර නැහැ. අපේ හින්දි ටීම් එකක් තිබ්බා ගුවන් විදුලියේ. එදා හින්දි නාළිකාවක් තිබුණා ඉන්දියාවෙන් තමයි ඒක ප්‍රචාරය කළේ. ෂෙල්ටන් පෙරේරාගේ නෝනා වැඩ කළා ඒකෙ. සුනිල් කුමාර වැඩකළා. සුනිල් කුමාර යශෝධාගේ තාත්තාගේ ගෝලයෙක්. යශෝධාගේ තාත්තා රවිලාල් විමලධර්ම එවකට හිටපු හින්දි භාෂාව පිළිබඳව කථිකාචාර්යවරයානෙ.

වර්තමාන තරුණ පරපුරේ නිර්මාණ පිළිබඳව අදහස?

අපි අතීතයේ අපේ පාසල් අවධියේ හින්දුස්ථානි සංගීතයට තිබුණු ආසාව නිසාම රාගධාරී සංගීතය හැදෑරීමට යොමුවුණා. ගුවන්විදුලියේ කටහඬ පරීක්ෂණයට පවා මම ගායනා කළේ මම තනුව යොදා නිර්මාණය කළ මගේම ගීතයක්. එහෙම එන්න තරම් අපිට පුළුවන් කම තිබුණා. හැකියාව තිබුණා. නමුත් තාරුණ්‍යයේ ඉන්න අද කට්ටිය දිහා බලන කොට මට දැනෙන දේ තමයි මම මේ කියන්නේ. මම මේ අද සියලුම තරුණ තරුණියන්ට දොස් කියනවා නෙමෙයි. ඔවුන් මීට වඩා නිර්මාණශීලී වෙන්න ඕනෑ කියන එකයි මට කියන්න ඕන.

දැන් ඉන්න තරුණයෝ ජෝතිපාල විදියට කියන්න ඕන නැහැනෙ. මොන ලැජ්ජා නැති වැඩක්ද? මොකටද මේ ගොල්ලෝ නව නිර්මාණ කරන්න පෙළඹෙන්න ඕන. ඕක කුමාරතුංග මහත්තයා කියලා තියෙන්නේ අලුත් අලුත් දෑ නොතනන ජාතිය ලොව නොනගී කියලනෙ. එහෙම නම් ජාතියේ ජීවනාලිය කියනඑක තාරුණ්‍යනම් එතකොට මේ තාරුණ්‍යය මොකද කරන්නෙ. මේව අපි වැඩිපුර සාකච්ඡා කරන්න ඕන දේශන පවත්වන්න ඕන. මේ තාරුණ්‍යයේ බුද්ධි මට්ටම නැණ නුවණ වඩාගෙන මීට වඩා අලුත්දෙයක් කරන්න පෙළඹෙන්න ඕන. නැත්නම් අපේ කලාව කොහාටද යන්නෙ? සුබාවිත සංගීතය අවර ගණයට දාන්න තමයි මොවුන් කටයුතු කරන්නේ. තනිකර කාණු පල්ලට යන තත්වයක් තියෙන්නේ. ඒවාට මේ අපට තනිව සටන් කරන්නට බැහැ. අනිත් එක මගේ ප්‍රකාශයක් මම පුවත් පත් සාකච්ඡාවකදිවත් කිව්වොත් අනිත් සංගීත ලෝකයේ ගායක ලෝකයේ ඉන්න එක්කෙනෙක්වත් ඒක හරි කියල කියන්නේ නැහැනෙ. ඕක තමයි වැඩේ. එහෙම නෙමෙයි ඒගොල්ලොත් මේවාට හවුල් වෙන්න ඕන.

දැන් සමහර ප්‍රවීණයෝ රූපවාහිනීවල යන සංගීත තරග වල විනිශ්චය මණ්ඩලවලට ගිහිල්ල මොනවද කියන්නෙ. මෝඩකම, අධම ගතිය දරුවන්ගේ මොළයට දානවා. අලුත් යමක් කරන්න දුවේ පුතේ කියනවද නෑ. මුල් ගායකයාට වඩා හොඳින් ගායනා කළා කියනවා. ඇයි ඒ ආවඩන්නේ. එහෙම ආවඩපුවාම ඒ දරුවා එතැනින් එහාට මොකක්වත් හිතනවද නෑනෙ. ඕව තමයි හරි ගස්සන්න ඕන. ඒත් මොනවා කරන්නද? නිහඬ වෙලා බලාගෙන ඉන්නවා. අඳුරට සාප කරමින් ඉන්නවාට වඩා එක පහනක් හෝ දල්වන්න කියලා කියනවනෙ. ඉතින් මම මට පුළුවන් විදියට නිර්මාණ කරනවා.

අපේ මුල් කාලයේ, 70 , 80 දශක ගත්තහම අපි අධිකතර නිර්මාණ සංඛ්‍යාවක් බිහිකළානෙ. ඒ මොකද අපිට වැඩසටහන් පැවරෙනවනෙ කරන්න කියලා. අද ගුවන් විදුලියෙන් මේ මොකක්වත් කෙරෙන්නේ නැහැනෙ. නාට්‍ය නිෂ්පාදනයක් නැහැ. සංගීත වැඩසටහනක් නැහැ. කොටින්ම සරලගී වැඩසටහනක්වත් අද නැහැනෙ. මම වසර 53 ක් පමණ මේ ක්ෂේත්‍රයේ ඉඳලා මේ වගේ දුක්ඛදායක දේවල් කතා කරන්න සිදුවීමත් කනගාටුදායකයි. මොනවත්ම කෙරෙන්නෙ නෑ. ඒක කට හෝදලා කියන්න පුළුවන්. තවමත් සුබාවිත ගීතයට, හොඳ නිර්මාණවලට තිබෙන ඉල්ලුම අඩුවෙලා නැහැ. ඒත් කෝ ඒකට සැපයුම. ඒකයි තිබෙන කනගාටුදායක තත්වය.

මගේ සඳ ලියූ චන්දනගේ තවත් ගීතයක් ඔබ ගායනා කළා?

ඇත්තටම එය සමූහ ගීයක්. පදමාලාව තරමක් වෙනස් සමාජයට කිසියම් පණිවුඩයක් දෙන එකක්. මෙය ප්‍රේමය, බුදුගුණ, මවුගුණ හෝ පියගුණ ගැන ගායනයක් නොවේ. ඉතින් ඒ ගීතය මට ලබාදුන්නේ ඇයි කියලා චන්දනගෙන්ම තමයි අහන්න ඕන.