කවුරුත් බලන රෙස්ලින් පිටුපස ඇති ඇත්ත සහ බොරුව මෙන්න

751

wrestling එසේත් නැතිනම් “මල්ලව පොර” ලොව පුරා බොහෝ ක්‍රීඩා ලෝලීන්ගේ උන්මාදයකි. මේ ක්‍රීඩාව නරඹන්නටත්, දිනන පරදින අය ගැන ඔට්‌ටු තබන්නටත් ලොව පුරා මල්ලවපොර ක්‍රීඩා ලෝලීහු ඩොලර් මිලියන ගණනින් වියදම් කරති. එනිසාම වර්තමානයේ එය බොහෝ දෙනකුට ධන උල්පතකි. හරියටම කිවහොත් wrestling යනු ක්‍රීඩා ලෝකයේ අති දැවැන්ත ව්‍යාපාරයකි. එහෙත් ලොව පුරා ක්‍රීඩා රසිකයින් මිලියන ගණනක්‌ උන්මාදයෙන් වැළඳගත් wrestling සැබවින්ම අපට පෙනෙන පරිදි ක්‍රීඩාවක්‌ද? අප නොඉවසිල්ලෙන් උනන්දුවෙන් බලා සිටින සියල්ල එහි සැබවින්ම සිදුවෙනවාද? නැතිනම් එය ප්‍රේක්‌ෂකයන්ගේ ඇස්‌ ඉදිරිපිට මවා පාන රංගනයක්‌ද? වර්තමානයේ එය අති ප්‍රසිද්ධ රහසකි.

කවුරුත් දන්නා Pro Wrestling (Professional Wrestling) හෙවත් වෘත්තීමය මල්ලව පොර ක්‍රීඩාව යනු ක්‍රීඩාවත් වේදිකා රංගනයත් එක්‌ව තැනුණු ප්‍රදර්ශනාත්මක කලාවකි. මේ මල්ලවපොර වේදිකාවේ තරග නරඹන්නා දකින්නේ බිහිසුණු ලෙස කෙරෙන පොර බැදීමකි. විටෙක තම ප්‍රතිවාදියාට වැරෙන් අතින් පයින් පහර දෙන, තවත් විටෙක ප්‍රතිවාදියාව ඔසවා පොළොවේ ගසන, එසේත් නැතිනම් පුටුවක්‌ වැනි අතට අසුවන මානයෙන් සපයා ගත හැකි ක්‌ෂණික අවිවලින් ප්‍රතිවාදියාට ලේ පෙරෙන තුරුම පහර දෙන අයුරුය. ඒත් මේ සියල්ල තරගයට පෙර පිටපත ලියා, සැලසුම් කොට ඉදිරිපත් කරන රංගනයකි. මේ මල්ලව පොර සියල්ල සැලසුම් කෙරෙනුයේ එහි රංගන ශිල්පීන්ට හෙවත් ක්‍රීඩකයින්ට සැබවින්ම සිදුවන හානි අවම වන පරිද්දෙනි.

මේ රංගනය සැලසුම් කිරීම ගැන රහස කලෙකට පෙර නම් තරග නිෂ්පාදකයන් දිවි දෙවැනි කොට රැකි රහසකි. එහෙත් වර්තමානයේ නම් මෙය ප්‍රසිද්ධ රහසකි. උතුරු ඇමරිකාවේ සංචාරක සැණකෙළිවලට එන මිනිසුන් පිනවීම සඳහා 19 වැනි ශත වර්ෂයේදී බිහිවුණු වෘත්තීමය මල්ලවපොර මේ වන විට ඩොලර් මිලියන ගණනින් මුදල් උපයන විනෝදාත්මක ක්‍රීඩා ව්‍යාපාරයක්‌ බවට පත් වී තිබේ. මුදල් ගෙවා නැරඹිය යුතු රූපවාහිනි නාලිකා මගින් ඉහළම මිල ගණන් වලට පෙන්වන වැඩ සටහන් අතරට මේ මල්ලවපොර තරග එකතු වී තිබේ.

WrestleMania, Bound for Glory වැනි wrestling තරග වැඩසටහන් එලෙසින් ඉහළම මිලට අලෙවි වන මල්ලවපොර සංදර්ශන වෙයි. සීඩී, ඩීවීඩී තැටි මගින් පමණක්‌ නොව අන්තර්ජාලයෙන්ද මුදල් ගෙවා නරඹන ජනප්‍රියතම ක්‍රීඩාව වී ඇත්තේද මල්ලවපොරය. වර්තමානයේදී වැඩියෙන්ම අලෙවි වන මල්ලවපොර සංදර්ශන නිපදවනුයේ ඇමරිකානු සමාගමක්‌ වන WWE විසින් වුවත් ඇමරිකාවේ Impact Wrestling, මෙක්‌සිකෝවේ Asistencia Asesoría y Administración, ජපානයේ New Japan Pro Wrestling, All Japan Pro Wrestling වැනි නිෂ්පාදන ආයතනද මෙම සමාගම සමඟ තරගකාරීව මල්ලවපොර සංදර්ශන නිෂ්පාදනය කරයි. දිනන්නේ කවුරුන්ද, ඊළඟ මොහොතේ කුමකින් කුමක්‌ සිදු වෙයිද යන නොඉවසිල්ලෙන් කුතුහලයෙන් යුතුව ප්‍රේක්‌ෂකයන් බලා උන්නද, දිනන්නේ කවුරුන්ද යන්න පිළිබඳව ඩොලර් ලක්‌ෂ ගණනින් ඔට්‌ටු ඇල්ලුවද මේ ක්‍රීඩාවේ සිදුවන සියල්ලත්, ජය පැරදුමත් සියල්ල මෙකී නිෂ්පාදන ආයතනවලින් කලින්ම තීරණය කොට නිර්මාණය කරන ලද සිදුවීම් වෙයි.

කෙසේ වුවත්, තම ඇස්‌ ඉදිරිපිට මැවෙන්නේ රංගනයක්‌ බව දැන දැනම වුවත් සැබෑම ක්‍රීඩාවකට දක්‌වන කුතුහලයත් උනන්දුවත් නොඅඩුවම ඇතිව wrestling නැරඹීමට ඇබ්බැහිව සිටින ක්‍රීඩාලෝලීන්ගේ නම් කිසිදු අඩුපාඩුවක්‌ නැත.