ලංකාවේ සිදුවෙන ‘මඤ්ඤං’ රිය අනතුරු (VIDEO)

619

වීඩියෝව සඳහා පහළට යන්න

පසුගිය මාසයක පමණ කාලයක ඇතුළත ලංකාවේ සිදු වූ මාරක රිය අනතුරු කීපයක්‌ කෙටියෙන් මෙසේය.

  • මහරගම – නාවින්නේ පදික මාරුවකදී (කහ ඉර) පාර මාරුවෙමින් සිටි මගියකුට ඉඩ දීමට යතුරුපැදිය නවතාගෙන සිටි යතුරුපැදිකරුවකු යටකරගෙන පෞද්ගලික බස්‌ රථයක්‌ ගමන් කිරීම. මෙහිදී යතුරුපැදිකරු එම ස්‌ථානයේදීම මරුමුවට පත්විය.
  • කටුනායක – කොළඹ අධිවේගී මාර්ගයේ තණකොළ කපමින් සිටි කම්කරුවන් දෙදෙනකු යටකරගෙන මෝටර් රථයක්‌ ගමන් කිරීම. මෙම අනතුරින් කම්කරුවන් දෙදෙනාම මරුමුවට පත්වූහ.
  • අනුරාධපුර බුලංකුලමදී (පෙරේදා) පොලිසිය එළවද්දී අධික වේගයෙන් පලාගිය හොර හරක්‌ ලොරියක ගැටී එකම පවුලේ සහෝදරියන් දෙදෙනකු මියයැම.

සාමාන්‍යයෙන් ලෝකයේ රිය අනතුරු ලෙස සලකනුයේ වාහන දෙකක්‌ ගැටී සිදුවන අනතුරුය. මේ අතරට ඉඳහිට මෝටර් රථයක්‌ මාර්ගයෙන් ඉවතට පැන සිදුවන අනතුරු ද නැතුවා නොවේ. නමුත් ලංකාවේ සිදුවන්නේ මීට හාත්පසින්ම වෙනස්‌ මඤ්ඤං අනතුරුය. මෙම අනතුරුවලට මූලික හේතුව මාර්ග නීති තඹයකට මායිම් නොකර රිය පැදවීමය. කටුනායක අධිවේගී පාරේදී කම්කරුවන් යටකරමින් රිය පැදවූ රියෑදුරුට බලපත්‍රයක්‌ තිබී නැත. මෙවැනි මඟමරුවන් අසරණ මිනිසුන් බිලිගන්නා තුරු පොලිසිය “පිට්‌ටු” තැම්බුවාද?

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ දත්තවලට අනුව 2016 වසර තුළ ලංකාවේ සිදු වූ මාරක අනතුරු ගණන 2824 කි. මෙම අනතුරුවලින් 3003 දෙනකු මියගොස්‌ තිබේ. මින් බරපතළ තුවාල අනතුරු ගණන 8518 කි. සුළු තුවාල අනතුරු ගණන 13961 කි. අලාභ අනතුරු ගණන 13675 කි. වඩා බරපතළ අර්බුදය වන්නේ මෙම සංඛ්‍යා ලේඛන දිනෙන් දින ඉහළ යැමය.

ශ්‍රී ලංකාවේ වාර්ෂික අයවැයෙන් වැඩිම මුදලක්‌ වෙන් කරන්නේ ජාතික ආරක්‍ෂාවටය. එම මුදලින් පොලිසියේ නඩත්තුවට වෙන්වන මුදලින් රථවාහන පොලිසිය පාලනය වන අතර එහි මූලික අරමුණ අවිනීත රියෑදුරන් අත්අඩංගුවට ගෙන මාර්ග අනතුරු අවම කිරීමය. රටේ ප්‍රවාහන අමාත්‍යාංශයේ නඩත්තුවට ද අයවැයෙන් විශාල මුදලක්‌ වෙන් කෙරෙන අතර එම මුදලින් ප්‍රවාහන අමාත්‍යාංශය යටතේ ඇති මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්‌ දෙපාර්තමේන්තුව නඩත්තු වන අතර එමගින් රියෑදුරන්ට බලපත්‍ර ලබාදීමේදී සිට රටේ සියලු රථවාහන නියාමනය සිදුකරනු ලබයි. කෙටියෙන් පැවැසුවහොත් පොලිසිය සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්‌ දෙපාර්තමේන්තුව මහජනතාවගේ බදු මුදලින් නඩත්තු වන, මහජනතාවගේ යහපත වෙනුවෙන් පිහිටුවා ඇති රාජ්‍ය ආයතනය. මෙම ආයතනවලින් ඔවුන්ගේ රාජකාරිය හරියට ඉටුවේ නම් ලංකාවේ මාර්ග අනතුරු දිනෙන් දින ඉහළ යමින් තිබෙන්නේ කෙසේද?

රටේ ජනගහනයෙන් 90% ක්‌ පමණ භාවිත කරනු ලබන්නේ පොදු ප්‍රවාහන සේවාය. මෙම පොදු ප්‍රවාහන සේවාවල ගමන් කිරීම තරම් පාපයක්‌ මගීන්ට තවත් නැත. විශේෂයෙන්ම කොළඹ නාගරිකයේ වාහන තදබදය, වන්-වේ මාර්ග හා දඩ කොළ නිසා වැඩිම පීඩනයට පත්වන්නේ පොදු ප්‍රවාහන සේවා රියෑදුරන්ය. අවසානයේ මේ පීඩනය ගලායන්නේ මගීන්ගේ කරමතින් සහ පදිකයන්ගේ හිස මතිනි. පොලිසිය ද මේ අවිනීත රියෑදුරන් අල්ලන්නට යොදාගන්නේ හොරා-පොලිස්‌ සෙල්ලමය. ඇත්තටම පොලිසියට අවශ්‍ය රිය අනතුරු අවම කිරීම නොව දඩ කොළ ගණන වැඩිකර ගැනීමය. පොලිසිය ද වසරින් වසර දඩ ආදායම් වාර්තා බිඳහෙළමින් ආඩම්බරයට පත්වෙයි. දඩ කොළ ආදායම ඉහළ යන වේගයෙන් ඉහළ යන අනතුරුවලින් මගීහු පරලොව යමින් සිටිති.

රටේ රථවාහන අනතුරු අවම කිරීමට පොලිසියට හා ප්‍රවාහන අමාත්‍යාංශයට මීට වඩා විද්‍යාත්මක දැක්‌මක්‌ තිබිය යුතුය. ‘පරිස්‌සමින් ගිහින් එන්න’ කියා කටවුට්‌ ගැහුවාට රටේ මාර්ග අනතුරු අඩු නොවන බව දැන්වත් මෙම රාජ්‍ය ආයතන තේරුම් ගත යුතුය.

(දිවයින)