සුදු වෙන්න ගාන ක්‍රීම් ගැන ඔබ නොදන්නා බිහිසුණු කතාව මෙන්න

1820

ඒ වර්ෂ 1956ය. ජපානයේ මිනමාටා ප්‍රදේශයේ මිනිසුන්ගේ ජීවිත හඳුනා නොගත් කාරණාවක් නිසා ව්‍යසනයට ලක්වෙමින් තිබිණි. මෙතෙක් නිරෝගී ජීවිතයක් ගතකළ මිනිසුන්ගේ ශරීර දුබල වුණේය. ඇස් පෙනීම අඩු විය. කන් ඇසීම දුර්වල විය. ඇතැම්හු හිටිවනම අංශභාගය වැලඳී ඔත්පළ වූහ. රෝගීහු සිහිමූර්ඡා වූහ. අවසනායේදී ඒ සිහිමූර්ඡා තත්ත්වයෙන්ම මිය ගියහ.

ජීවත්ව සිටින උදවියට දාව උපදින කිරි දරුවෝ අංගවිකල වූහ. විකෘති වූහ. මළදරු උපත් ගණන වැඩිවිය. රෝගීන්ගේ නිවාසවල ජීවත් වූ සතුන්ද මිය ගියේය. ඔවුන්ගේ ගෙවතු අවට සිටි කුරුල්ලෝ පවා මැරී වැටුණහ. මිනමාටාව සමුද්‍රාශ්‍රිත නගරයකි. මිනමාටා බොක්කෙන් මුහුදු පැළෑටි තුරන් විය. මාළු මැරී දිය මත පාවෙන්නට විය. බරපතළ මාරකයට මුහුණ දුන්නේ මිනමාටාවේ ධීවර ප්‍රජාවය.

මේ හඳුනා නොගත් රෝගයෙන් මුලින්ම රෝහල් ගත වූයේ පස් හැවිරිදි දැරියකි. ඒ 1958 අප්‍රේල් 21දාය.
මේ බිහිසුණු ව්‍යසනය කුමක්දැයි සෙවීමට ජපන් රජය කටයුතු කළේ මිනමාටාවේ මිනිසුන් දේව සාපයකට ලක්වූ සේ මේ විඳවන විඳවීම නිසාය.

කරන ලද මූලික පරීක්ෂණවලින් කිසිම තොරතුරක් හෙළි වූයේ නැත. එබැවින් මේ මහා ව්‍යසනය ගැන සොයන්නට විශ්වවිද්‍යාලයක් වෙත පැවරිනි. මුලින්ම මේ තත්ත්වය හඳුනාගත්තේ ආහාර විස වීමක් ලෙසය. එහෙත් හෙළි වූයේ ව්‍යසනයට පත් මිනිසුන්ගේත්, මියයන විකෘතිව ඉපදෙන ළදරුවන්ගේත්, ශරීරගත රසදිය සාන්ද්‍රණය ඉහළ අගයක පවතින බවය. ඒ ඔස්සේ පරීක්ෂණ මෙහෙයවූ ජපන් විද්වත් කණ්ඩායම් අවසානයේදී මේ මාරක ව්‍යසනයට මූලික හේතුව සොයා ගත්හ.

ජපානයේ මිනමාටා නගරය ආශි්‍රතව වර්ෂ 1908දී පමණ පිහිටුවූ චිස්සෝ කෝපරේෂන් නම් කර්මාන්ත ශාලාවක් තිබුණේය. මේ කර්මාන්ත ශාලාවේ මුලින්ම නිෂ්පාදනය කළේ රසායනික පොහොරය. පසුව ස්වකීය ව්‍යාපාර සාර්ථකත්වය මත ඔවුහු ඇසිටලීන්, ඇසිටැල්ඩිහයිඩ්, ඇසිටික් අම්ල වැනි රසායනික ද්‍රව්‍යත් නිෂ්පාදනය කළේය. වර්ෂ 1932 සිට වර්ෂ 1968 දක්වා අති ශීඝ්‍ර ලෙස ස්වකීය නිෂ්පාදන ධාරිතාව වර්ධනය කරගන්නට ඔවුහු කටයුතු කළහ. මේ කර්මාන්තයේ අප ජලය ඔවුන් විසින් බැහැර කර තිබුණේ මිනමාටා බොක්ක වෙතය. මීතයිල් හා රසදිය මිශ්‍ර මේ අප ජලය සාගර පද්ධතියේ තුලිතතාව වෙනස් කළේය. දියෙහි ජීවත් වූ මත්ස්‍යයන්ගේ ශරීරයේ මෙතිල් මර්කරි ලෙස රසදිය තැන්පත්ව තිබිණී. එම මසුන් ආහාරයට ගත් මිනමාටා වැසියන්ගේ සිරුරුවලට රසදිය ඇතුළු වි තිබිණි. මේ මහා ව්‍යසනය ඇති වී තිබුණේ රසදිය විස වීමෙනි. වර්ෂ 1968දී කර්මාන්ත ශාලාව වසා දැමිනි. එහෙත් ඒ වනවිට මේ මාරක ව්‍යසනය නිසා ජපානයේ මිනමාටාව කේන්ද්‍ර කරගෙන ජීවත් වූ මිනිසුන් 1784ක් පමණ මියගොස් සිටියහ. තවත් දහස් ගණනක් මිනිස් විකෘතීන් බවට පත්වූහ.

මිනමාටාව ගැන මේ කතාව කියන්නේ රටම මිනමාටාවක් වීමේ සොහොන් ලකුණු පෙනෙමින් ඇති මොහොතකය. ලෝකයේ ශිෂ්ට සමාජය විසින් තහනම් කරන ලද උග්‍ර විස සහිත රසදිය අන්තර්ගත පාරිභෝගික ද්‍රව්‍ය ගණනාවක් කිසිම වාරණයකින් තොරව හා අධීක්ෂණයකින් තොරව සංසරණය වෙමින් ඇති මොහොතකය. මේ සාහසික අපරාධය වන්නේ රසදිය නමැති ජගත් දූෂ්‍ය කාරකයට එරෙහිව විසඳුමක් සෙවීම සඳහා ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහනේ රසදිය පිළිබඳව නෛතිකව බැඳුණු රටක් ලෙස වර්ෂ 2013 සිට කටයුතු කරමින් සිටින විටය.

ඉතාම පැහැදිලිව හඳුනාගෙන ඇති පරිදි මේ විස කාරක රසදිය සංයෝග දැනට බහුලවම හමුවෙමින් ඇත්තේ ආනයනික රූපලාවණ්‍ය නිෂ්පාදනවලය. අපි ඝර්ම කලාපික දේශගුණයක් සහිත සමකාසන්න පිහිටීමක් ඇති රටක ජීවත් වන මිනිස්සුය. අපට සොබා දහමින් දී ඇති ඡවි වර්ණය මනරම් අඳුරු දුඹුරු පැහැයක්ය. එහෙත් අවුරුදු තුන්සියයකට අධික කාලයක් සුදු අධිරාජ්‍යයකට යටත් වී සිට තවමත් ඉන් මිදෙන්නට බැරි අපේ මිනිස්සු තවම ජීවත්වෙන්නේ සුදුපාට හීනවලය. මේ දුප්පත් මනෝවිකාරය මොනතරම් දරුණු ව්‍යාධියක් වී ඇත්ද යන්න වැටහෙන්නේ එක දවසකට හෝ මුහුණ සුදු කරගන්නට, හම සුදු කරගන්නට දඟලන ලලනාවන් මතුනොව පිරිමින්ද දකින විටය. පේව්මන්ට් එකකට ගොඩවුණු පසු තේ කඩවලටත් වැඩියෙන් හමුවන රූපලාවණ්‍යාගාරවලත්, සතියෙන් දෙකෙන් රූපලාවණ්‍ය ශිල්පිනියන් හෝ ශිල්පීන් වන පිරිසගේත් ප්‍රධානම කාර්යයක් වන්නේ ස්වකීය පාරිභෝගිකයන් හැකි ඉක්මනින් සුදු කිරීමය.

එහෙත් මේ වනවිට දේශීය වෙළෙඳපොළේ සුලබව හමුවන හම සුදු කරන ආනයනික රූපලවණ්‍ය නිෂ්පාදන බොහොමයක් සමන්විත වී ඇත්තේ විස සහිත රසදියවලිනි. මේ ආනයනික ක්‍රීම් වර්ග බහුතරයක නිෂ්පාදකයා නැත. බෙදා හරින්නා නැත. මේ වැනි වගකීම් රහිත කාලකණ්ණිකමකට ඉඩ හසර සලසා ඇත්තේ මේ රට තුළ ආනයනික රූපලාවණ්‍ය නිෂ්පාදනයන් පිළිබඳ නියාමනය කරන විධිමත් නීති කෙටුම්පත් නොමැති වීමය. කූට වෙළෙන්දන් රිංගා ඇත්තේ මේ නීතියේ හිඩැසින්ය.

මේ මාරක රූපලාවණ්‍ය ආලේපන මළ මිනියකවත් ආලේපනයට නුසුදුසු බව වැටහෙන්නේ මෙහි අන්තර්ගතයන් පිළිබද කළ විද්‍යාත්මක විශ්ලේෂණයකදීය. යුරෝපා සංගමය දක්වන ප්‍රමිතියට අනුව රූපලාවණ්‍ය නිෂ්පාදනයක රසදිය අඩංගු වීම තහනම්ය. ලෝකයේ පිළිගත් සමහර ප්‍රමිතීන් එම ප්‍රමාණය කිලෝග්‍රෑමයකට මිලි ග්‍රෑම් එකකි. එහෙත් අපේ රටේ අලෙවි කරන එක්තරා සම පැහැපත් කරන ආලේපනයක අඩංගු රසදිය ප්‍රමාණය කිලෝග්‍රෑමයට මිලිග්‍රෑම් 9870කි. එනම් සම්මත අවම ප්‍රමිතියට වඩා වැඩි වී ඇත්තේ දෙතුන් ගුණයකින් නොවේ. දස දහස් ගුණයකිනි. මෙම නිෂ්පාදනය යුරෝපා සංගමයේ තහනමට ලක්ව ඇත්තේ වර්ෂ 2013දීය. අතේ තැවරුණු විටත් ඉවත් නොවන තෙල් සහිත විසකාරකය මුහුණේ තැවරූ විට දින කිහිපයකින් සුදුවන බව සැබෑය. ඒ සුදු වන්නේ තවත් නොබෝ කලකින් පැමිණීමට නියමිත මොළයට සිදුවන හානි ගැන කියන පූර්ව නිමිත්තක් ලෙසය. මානසික ව්‍යාකූලතා හා මතක හීන වීම පිළිබඳ නිමිත්තක් ලෙසය. මධ්‍ය ස්නායු පද්ධතියේ සංකූලතා, අතපය හිරි වැටීම්, ඇසීමේ හා පෙනීමේ දුර්වලතා, වකුගඩු සංකූලතා, ගබ්සාවීම්, විකෘති දරු උපත් පිළිබඳ කියැවෙන මාරක ප්‍රකාශනයක් ලෙසය.

මේ එක් ආලේපනයකවත් මෙම දත්ත සියල්ල සඳහන් නොවේ. නිෂ්පාදිත රට නැත. එම නිෂ්පාදන රට තුළ බෙදා හරින්නෙක් නැත. කල් ඉකුත්වීමේ දිනයක් නැත. ඉංගී්‍රසි භාෂාවෙන්වත් ලියැවී ඇති ආලේපනයේ සංයුතිය පිළිබඳ සඳහනක් නැත. බොහෝ නිෂ්පාදනවල පිටකවරය ලියැවී ඇත්තේ අරාබි භාෂාවෙනි. එහෙත් හලාල් ලකුණක් නැත. මෙම නිෂ්පාදන අලෙවි වන්නේ සුළු මිලකට නොවේ. අධික මිල ගණන්වලටය.

පොහොර උරවල බහා, බෑග්වල අසුරා අනීතික ක්‍රම හරහා මෙම මාරක විස ලංකාවට රැගෙන විත් කොළඹ කොටුවේ හරස්වීදිවල ඇති ගුබ්බෑයම්වලදී ඇසුරුම් කර වෙළෙඳපොළට නිකුත් කිරීමේ ව්‍යාපෘතිය මොනතරම් බිහිසුණු දැයි මේ ජාවාරමේ නිරත උන් දනී. ඒ නිසා උන් කිසිවෙක් එළියට එන්නේ නැත. මේ ක්‍රීම්වර්ග ආලේප කිරීම නිසා ඇතිවන ව්‍යසනයට නෛතිකව වගකියන්නට කෙනෙක් නැත.

මේ මාරක ක්‍රීම්වර්ග වැඩි වශයෙන් භාවිත කරන්නේ රූපලාවණ්‍යාගාර තුළය. තමන් වෙත එන පාරිභෝගිකයා දවසින් දෙකින් සුදු කිරීමේ විශ්වකර්මය කරන්නට එකත්පස්ව සිටිනා නූගත් රූපලාවණ්‍යාගාර හිමිකරුවන් මේ කුට වෙළෙන්දන්ගේ පහසු ගොදුරුය.

අප දන්නා එක් යථාර්ථයක් තිබේ. මේ විනාශයට, මුහුණ සුදු කරගන්නට තැත් කරන දුගී අසරණයන්වත්, ඔවුන් ඉක්මනින්ම සුදුකර වැඩිපුර යමක් උපයා ගන්නට උත්සාහ කරනා නූගත් රූපලාවණ්‍යාගාර පවත්වා ගන්නන්වත්, මේ පිරිස ඉලක්ක කරගෙන වස විස විකුණන වෙළෙන්දන්වත් වගකිව යුතු නැත. වගකිව යුත්තේ මේ තත්ත්වයට සමාජය අනාරක්ෂිත කළ මේ රටේ දේශපාලන යාචකයන්ය. ආනයනික රූපලාවණ්‍ය නිෂ්පාදනයන් පිළිබඳ නියාමනය කරන විධිමත් නීති කෙටුම්පත් නිර්මාණය කිරීමට ආණ්ඩුව පොරොන්දු වන්නේ ආණ්ඩුවේ පළමු අයවැයෙනි. එහෙත් මේ මොහොත වනවිටත් එය ඉටු වී නැතිවා මතුනොව රූපලාවණ්‍ය නිෂ්පාදන පිළිබඳව පවතින නීති රාමුවත් විතැන් කර ඇත. මොවුන්ට මේ රටේ මිනිස්සු මැස්සන්ය. මදුරුවන්ය. ඊට වඩා වගකීමක් හෝ හැඟීමක් නැත. මේ රටේ අපට මිනිසුන් ලෙස ජීවත් විය හැක්කේ ඒ සතිය පහළවන මොහොතේ සිටය.

(අන්තර්ජාලය ඇසුරිණි)