කැටලෝනියාවට තනි රටක් ලෙස නැගීසිටිය හැකිද?

93

ස්‌පාඤ්ඤයේ ස්‌වයංපාලන ප්‍රදේශයක්‌ ලෙස පැවති කැටලෝනියාව පසුගිය ඔක්‌තෝබර් පළමු වැනිදා ජනමත විචාරණයක්‌ පවත්වමින් සිය පාලන ප්‍රදේශය ස්‌වාධීන හා නිදහස්‌ රාජ්‍යයක්‌ ලෙස නම් කිරීමේ පළමු පියවර තැබුවේය. ජනමත විචාරණයේදී ඡන්දය පාවිච්චි කිරීමට සුදුසුකම් ලබා තිබූ සියයට 43 ක්‌ වූ ඡන්ද දායකයන්ගෙන් සියයට 90 ක්‌ වෙන්වීම සඳහා කැමැත්ත පළකර තිබුණහ. එහෙත් කැටලෝනියා ප්‍රාන්තයේ පිහිටි ස්‌පාඤ්ඤ අධිකරණය විසින් මෙම ජනමත විචාරණයේ ප්‍රතිඵල තහනම් කරනු ලැබූ අතර එය ස්‌පාඤ්ඤයේ ව්‍යවස්‌ථාව උල්ලංඝනය කරන්නක්‌ බව කියෑවිනි. මෙම මතභේදකාරී ඡන්ද විමසීම හේතුවෙන් මේ වන විට ස්‌පාඤ්ඤ ව්‍යවස්‌ථාව අර්බුදයකට ලක්‌වී තිබේ.

කෙසේ වුව ද කැටලෝනියා නායක කාලිස්‌ පුග්ඩිමොන්ට්‌ විසින් නිදහස්‌ රාජ්‍යයක්‌ ලෙස කැටලෝනියාව නම් කිරීමට නියමිතව තිබුණු අතර එසේ වුවහොත් කැටලෝනියාවට දැඩි දුෂ්කරතාවලට මුහුණදීමට සිදුවනු ඇතැයි දේශපාලන විචාරකයන් මත පළ කර තිබුණේය. ස්‌පාඤ්ඤ ව්‍යවස්‌ථාවේ 155 වැනි වගන්තිය අනුව ප්‍රාදේශීය රාජ්‍ය බලෙන් විසුරුවා හැර සියලු බලතල මධ්‍යම රජයට පවරා ගැනීමේ හැකියාව ඇත. කෙසේ වුව ද ස්‌පාඤ්ඤ රජය මෙම පියවර ගනු ඇත්තේ අවසන් අවස්‌ථාව හැටියටය. ඒ අතර ස්‌පාඤ්ඤයෙන් වෙන්වීමට අකැමැති වූ පිරීස්‌ විසින් කැටලෝනියාව නිදහස්‌ රාජ්‍යයක්‌ ලෙස නම් කිරීමට විරෝධය පා බාසිලෝනා නගරයේ වීදි බැස උද්ඝෝෂණවල නියෑලෙනු දැකගත හැකි විය.

කැටලෝනියාවට මේ වන විට විදෙස්‌ රාජ්‍යවල අප්‍රසාදය ලැබෙමින් පවතී. නිදහස්‌ රාජ්‍යයක්‌ ලෙස කැටලෝනියාව පිළිනොගන්නා බව ප්‍රංශය නිවේදනය කරද්දී ස්‌පාඤ්ඤයේ එක්‌සත්භාවයට සහාය දක්‌වන බව ජර්මනිය නිවේදනය කළේය. යුරෝපා සංගමය ද කැටලෝනියාවට අනතුරු අඟවමින් සිය සංගමයේ සාමාජිකත්වය ලබා නොදෙන බව පවසා තිබේ. කැටලෝනියාවට නිදහස ලැබුණ ද නොලැබුණ ද වෙනම රාජ්‍යයක්‌ සේ නැඟී සිටින්නට කැටලෝනියාවට හැකි ද යන්න මීළඟ ගැටලුවයි. කැටලෝනියා පාර්ලිමේන්තුව එරට නිදහස්‌ රාජ්‍යයක්‌ ලෙස නිවේදනය කරන්නට නියමිතව තිබියදී බොහෝ බැංකු ආයතන ඔවුන්ගේ මූලස්‌ථාන ස්‌පාඤ්ඤයේ අනෙකුත් ප්‍රදේශවලට ගෙන යැමට තීරණය කර තිබේ. ඒ අතරම මැඩ්රීඩ් පාලනය හෙවත් ස්‌පාඤ්ඤ රජය සඳහන් කරන්නේ කැටලෝනියානු පාර්ලිමේන්තුව නිදහස ප්‍රකාශයට පත් කළ ද එය බලාත්මක නොවන බවය. මේ පසුබිම යටතේ සැබැවින්ම කැටලෝනියාවට තමන්ගේ තීරණයේ දැඩිව සිටින්නට හැකි ද යන්න සැක සහිතය.

කෙසේ වුව ද බැලූ බැල්මට නම් කැටලෝනියාවට නිදහස්‌ රාජ්‍යයක්‌ ලෙස පවතින්නට අවශ්‍ය බොහෝ සාධක තිබේ. ඔවුන්ටම කියා වෙන්වූ ජාතික කොඩියක්‌, පාර්ලිමේන්තුවක්‌ මෙන්ම ඔවුන්ගේම නායකයකු ඔවුන්ට සිටියි. එසේම පොලිස්‌ බළකායක්‌, විකාශන නියාමන අධිකාරියක්‌ මෙන්ම විදෙස්‌ වෙළෙඳාම හා ආයෝජන දිරිගන්වන ඉතා කුඩා ප්‍රමාණයේ විදේශීය මෙහෙයුම් පද්ධතියක්‌ ද කැටලෝනියාව සතු වේ. මේ අතර අධ්‍යාපනය ලබාදීම සඳහා වූ පාසල් ජාලයක්‌ හා සෞඛ්‍ය සේවා පද්ධතියක්‌ ද ඔවුන්ට තිබේ. මෙකී සම්පත් තිබූ පමණින්ම නිදහස්‌ රටක්‌ ලෙස පැවතිය හැකි ද මෙයට ලබාදිය හැකි සරලම පිළිතුර නැත යන්නය.

නිදහස්‌ රාජ්‍යයක්‌ ලෙස ගොඩනැඟෙද්දී කැටලෝනියාව තවත් බොහෝ දේ ළඟාකර ගැනීම අවශ්‍ය කරන්නේය. විශේෂයෙන් දේශසීමා පාලනය කිරීම හා රේගු සේවා අත්‍යාවශ්‍ය වේ. එසේම විධිමත් විදෙස්‌ සම්බන්ධතාවක්‌ හා විධිමත් ආරක්‌ෂක ක්‍රමවේදයක්‌ ඔවුන්ට අවශ්‍ය වේ. මේ හැරෙන්නට මහ බැංකුවක්‌ දේශීය ආදායම් අංශයක්‌ හා ගුවන් ගමන් පාලන අංශයක අවශ්‍යතාව තදින්ම ඇත. මේ වන තෙක්‌ මෙකී අංශ පාලනය වූයේ ස්‌පාඤ්ඤ රජය මඟිනි. යම් හෙයකින් මෙකී ආයතන ස්‌ථාපිත කර ගත්ත ද ඒ සඳහා ගෙවිය යුතු සේවක වැටුප් ආදී වූ වියදම් දරාගන්නට කැටලෝනියාවට හැකිවේ ද? කැටලෝනියානු න්‍යායට අනුව නම් මෙය ඉතා සුළු කරුණකි. ස්‌පාඤ්ඤයෙන් වෙන්වීම සඳහා වූ ව්‍යාපාරයේ ජනප්‍රිය සටන් පාඨයක්‌ වූයේ ස්‌පාඤ්ඤ රජය කැටලෝනියාවෙන් ගසා කන බවය.

මේ සටන් පාඨයේ එක්‌තරා සත්‍යයක්‌ ද වේ. ස්‌පාඤ්ඤයේ අනෙකුත් ප්‍රදේශ හා සසඳා බලන කල කැටලෝනියාව ධනවත් ප්‍රදේශයකි. කැටලෝනියාවේ ජීවත් වන්නේ ස්‌පාඤ්ඤ ජනගහනයෙන් සියයට 16 ක්‌ පමණි. එහෙත් සියයට 19 ක්‌ වන එහි දළ දේශීය ආදායම ස්‌පාඤ්ඤයේ මුළු අපනයන වලින් හතරෙන් එකක්‌ වේ. එසේම ස්‌පාඤ්ඤයට පැමිණෙන සංචාරකයන්ගෙන් බහුතරය කැටලෝනියාවේ සංචාරය කරන්නන්ය. පසුගිය වසරේ ස්‌පාඤ්ඤයට පැමිණි මුළු සංචාරකයන් ගණන මිලියන 75 ක්‌ වූ අතර ඉන් මිලියන 18 කගේ ගමනාන්තය වී තිබුණේ කැටලෝනියාවය.

මේ අනුව බලන කළ කැටලෝනියාව ඔවුන්ගේ ප්‍රදේශයට ස්‌පාඤ්ඤය දරන වියදමට වඩා වැඩි ප්‍රමාණයක්‌ බදු ගෙවන්නේය. නිදහස්‌ රාජ්‍යයක්‌ සඳහා තමන් සූදානම් යෑයි කැටලෝනියානු බලධාරීන් උදම් අනන්නේ මේ පසුබිමේ සිටය. එහෙත් කැටලෝනියාවට මුහුණදීමට සිදුවන දැඩි දුෂ්කර අවස්‌ථාවක්‌ ද වේ. ඒ ඔවුන්ගේ ණය බරය. අවසන් වරට සකසන ලද වාර්තාවලට අනුව කැටලෝනියාව යූරෝ බිලියන 77 ක ණයකාරයෙක්‌ වන්නේය. එය එම ප්‍රදේශයේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 35.4 ක්‌ වේ. මෙම ණය ප්‍රමාණයෙන් බිලියන 52 ක්‌ ස්‌පාඤ්ඤ රජයෙන් ලබාගත් ණය වේ.

යම් හෙයකින් ස්‌පාඤ්ඤයට අකීකරු වී නිදහස්‌ රාජ්‍යයක්‌ ලෙස ස්‌ථාපිත වන්නට කටයුතු කළහොත් කැටලෝනියාවට තවදුරටත් ස්‌පාඤ්ඤ රජයෙන් ණය ලබාගත නොහැකි වනු ඇත. එසේම මෙතෙක්‌ ලබාගෙන ඇති ණවලින් කොපමණ කොටසක්‌ එකවර ගෙවන්නට සිදුවේ ද යන්න ද ගැටලු සහගතය. ස්‌පාඤ්ඤ රජය සමඟ සාකච්ඡාවකට එළැඹ මේ ගැටලු විසඳාගැනීමට කැටලෝනියාවට සිදුවන්නේය. නොඑසේ නම් නිදහස්‌ රාජ්‍යයක්‌ යනු ඔවුන්ට සිහිනයක්‌ පමණක්‌ වනු ඇත.