රුසියාව සහ චීනය හමුවේ පසුබසින ඇමරිකාව

301

‘‘ඇමරිකන් අධිරාජ්‍යවාදය කඩද‌ාසි කොටියෙකි’’ යි දශක හයකට පෙර කීවේ චීන කොමියුනිස්ට් පක්ෂයේ සභාපති මාඕ සේතුංය.

මාඕගේ ‘කඩද‌ාසි කොටි’ සරදම් සහගතව බැහැර කරමින්, සෝවියට් කොමියුනිස්ට් පක්ෂයේ එවක නායකව සිටි නිකිතා කෘෂෙව් පැවසුවේ ‘‘ඇමරිකාව කඩද‌ාසි කොටියාට න්‍යෂ්ටික දත් ඇති’’ බවය.

නවසිය හැට දශකයේදී, මෙම චීන – සෝවියට් විවාදය ඇවිළ ගියේ, කොමියුනිස්ට් ලෝකයේ නායකත්වය පතා චීනයත්, සෝවියට් සංගමයත් න්‍යායික අරගලයෙක පටලැවී සිටි පසුබිමකය.

ලොව සුපිරි බලවතුන් දෙදෙනාගෙන් එක් ​අයකු ලෙස එද‌ා වැජඹුණ සෝවියට් සංගමය අහෝසි වී ගියත්, එහි අනුප්‍රාප්තික රාජ්‍යය ලෙස වත්මන් රුසියාව පවතියි. වඩා වැදගත් දෙය වන්නේ කොමියුනිස්ට් රටක නොවුණත් රුසියාව තවමත් බටහිර ලෝකයට ‘රතු එළි’ යවන බවය.

ගෝලීයකරණ යුගයේ චණ්ඩ තාපයට ගොදුරු වී කොමියුනිස්ට්වාදයේ රතු කොඩිය දුර්වර්ණවීමේ යථාර්ථයක් පවතින විට වුවද, ලොව අන්තිමට ඉතිරි වූ සමාජවාදී රටවල් සහ අතුරෙහි විවාද රහිත බලවතා ලෙස චීනය ජාතික ප්‍රකාශයෙනුත්, අන්තර්ජාතික ප්‍රතිරූපයෙනුත් නොකඩවා වැඩෙයි.

යල් පැනගිය නොහොඳ නෝක්කාඩු යට කර විසිඑක් වැනි ශතවර්ෂයේ මහ බලවතුන් දෙදෙනකු ලෙස සිය ජාතික අවශ්‍යතා සහ ගෝලීය ප්‍රමුඛතාවන්ට ගැළපෙන නව මාදිලියේ මූලෝපායමය සබඳතා රටාවක් තුළ ගොනු වීමට එම දෙරට සමත් වී සිටි.

අවි – පාර්ශ්වීය සබඳතා අතින් ගෝලීය දේශපාලනය මත අංශය ජවසම්පන්න බලපෑම් කළ හැකි දෙරට ලෙස අද කැපී පෙනෙන්නේ චීනය සහ රුසියාවයි.

එක්සත් ජාතීන්ගේ යාන්ත්‍රණය තුළ චීන – රුසියන් සුසංයෝගය ගෝලීය දේශපාලන හඳහනේ ඉතාම බලගතු ද්විත්ව ග්‍රහ යෝගයක් වී ඇති බව දැන් දැක ගත හැකි. ගිය සඳුදා සම්මත වූ උතුරු කොරියාව සම්බන්ධ යෝජනාව කරා විකාශනය වූ රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාවලිය දෙස බලනවිට ඒ බව ඉතා පැහැදිලිය.

චීන – රුසියා යුගල රංගනය ජගත් කරළිය මත පණ ගැන්වුණු ආකාරය විමසීමේදී මෙකී මහ බලවතුන් දෙදෙනාගේ රාජ්‍යතාන්ත්‍රික ප්‍රවේශයන් එකට මුසු වූ ප්‍රධාන අරමුණු දෙකක් දැක ගත හැකි විය.

ඉන් එකක් නම් ලොව එකම සුපිරි බලවතා වීමේ ‘ලැයිසම’ අවභාවිත වී යමෙන් ගෝලීය වනාන්තරයේ තනි අලියා ලෙස හිතුවක්කාර ලෙස හැසිරීම උදෙසා ඇමෙරිකා එක්සත් ජනපදයට ඉඩ නොදිය යුතු බවට එම දෙරටම ඇති පොදු අදිටනයි.

අනෙක වන්නේ ලෝක දේශපාලනයේ අලුතින් මතුවෙන උතුරු කොරියාව වැනි කොටි පැටවුන්ගේ න්‍යෂ්ටික දත් ඉවත් කිරීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය සමග කිසියම් දුරක් එකට ගමන් කිරීමටත් එම රටවල් දෙක දක්වන සූද‌ානමය. එය එක් අතකින් මහ රටවල් අතර සබඳතා සමතලව පවත්වා ගැනීමට මනාපවීමේ ලකුණක්ද වෙයි.

ඇමරිකන් අධිරාජ්‍යවාදී කොටියාගේ න්‍යෂ්ටික දත්’’ ගැන දෙපැත්තකට වී එද‌ා වාද කළ චීනයත්. රුසියාවත් යාබද පුංචි රට වන උතුරු කොරියාව න්‍යෂ්ටික දත් ගැලවීමේ රාජ්‍යතාන්ත්‍රික සැත්කමක් උදෙසා අද ඇමරිකාව සමගම හවුල්වීම උඩුයටිකුරු වූ ලෝක දේශපාලනයේ තවත් වැදගත් පෙළගැසීමකි.

ලෝකය තුළ යුද්ධය සහ සාමය පිළිබඳ තීරකයා ලෙස සැලකෙන එක්සත් ජාතින්ගේ ආරක්ෂක මණ්ඩලය තුළ අවස්ථානුකූල ප්‍රවේශයක් ලෙස මෙය ඇරැඹී තරමක කාලයකි. 2006 දී උතුරු කොරියාවේ න්‍යෂ්ටිය වැඩසටහන ඇරැඹුණු පසු, සම්මත වූ නවවැනි සම්බාධක යෝජනාව වන මෙය, මෙතෙක් එරටට එල්ල වූ ඉතාම බලගතු අභියෝගයයි.

මේ වන විට, නොයෙක් අත පෙරළමින් විචාරක විමසුමට බඳුන් වෙන උතුරු කොරියාවට එරෙහි නව සම්බාධක යෝජනාව සම්මත වීමට ඔන්න මෙන්න කියා තිබියදී පරික්ෂණයක යෙදුණු එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇත්තෝනියෝ ගුතෙරේස්, එරට මතභේදගත න්‍යෂ්ටික වැඩසටහන හැඳින්වූයේ ‘මේ මොහොතේදී ලොව මුහුණ දෙන ඉතාම බරපතළ තර්ජනය’’ ලෙසය. ඔහු එම ප්‍රකාශය කළේ ගිය බද‌ාදා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ හැත්තෑ දෙවැනි සැසිවාරය ඇරඹීමට පැය කීපයක් තිබියදීය.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික අතිධාවනකාරී තත්වයට තිරිංගයක් විය හැකි යයි සිතූ හැකි අලුත් සම්බන්ධතා යෝජනාව ඇමරිකාවේ උතුරු කොරියා ප්‍රවේශයට ලැබෙන අනුබලයක් ලෙස සැලකිය හැකිය.

අනෙක් අතට, උතුරු කොරියාවේ න්‍යෂ්ටික වියරුව ‘‘ඉවරයක් කිරී​ෙම්’’ රාජ්‍යතාන්ත්‍රික මෙහෙයුමකට මුවා වී එරටට එරෙහි යුධමගක් තනා ගැනීමට ඇමරිකාව දක්වන ආක්‍රමණශීලී නැඹුරුව බාල කිරීමට රුසියාවත්, චිනයත් සමත් වූ අයුරු එමගින් පෙන්නුම් වෙයි.

ඇමරිකාවට අවශ්‍ය වන්නේ උතුරු කොරියාවේ කොමියුනිස්ට් රජය පෙරළීම හෝ කිම් ජොං – උන් වෙනුවට වෙනත් සංගමයක එහි අටවා තැබීමය.

චීනයටත්. රුසියාවටත් අවශ්‍ය වන්නේ කිම් ජොං – උන් දඟකාරයා හීලෑ කර ගැනීම මිස, ඔහුගේ රජය වහා පෙරළා දමා, උතුරු කොරියාවේ ඔප්පු ඇමරිකන් ධනවතකු අතට පැවරීම නොවේ.

සඳුද‌ා ආරක්ෂක මණ්ඩලයේදී සම්මත වූ යෝජනාවෙන් පෙන්නුම් වන්නේ එක අතකින් ඇමරිකාවත්, අනෙක් අතෙන් රුසියාව සහ චීන දෙරටත් අතර අැති වූ සම්මුතියක ප්‍රතිපලයක් යෝජනාව විපාකය ආර්ථික වශයෙන් වේදනාජනක වුවත් චීනය සහ රුසියාව වත්මන් ස්ථාවරයේ සිටින තුරු සිය රජය ඇමරිකන් අාක්‍රමණ වශයෙන් ආරක්ෂා වෙතැයි කිම්ජොං – උන්ට විශ්වාසයක් ඇති කර තිබිණි.

ලෝක දේශපාලන හඳහන වෙත රුසියන්, චීන ග්‍රහයෝගය කොතරම් දැඩි බලපෑමක් යුතු වේදැයි යළිත් පෙන්නුම් විය.

සම්බාධක යෝජනාවට ආරක්ෂක මණ්ඩලයේ රටවල් පහසුවෙන්ම සහය ලැබුණත්, සිය මුල් කෙටුම්පතේ සැර සෑහෙන තරමකින් බාල කිරීමට ජනාධිපති ​ඩොනල්ඩ් ට්‍රම්ප්ට සිදුවීම නිසා, රුසියාවේ සහ චීනයේ බලය මැනවින් පෙන්නුම් වූ බව ඇමරිකාවේ ප්‍රබල පුවත්පතක් වන ‘‘නිව්​ෙ‌යා්ක් ටයිම්ස්’’ පැවසීය.

නව යෝජනාව මෙතෙක් උතුරු කොරියාවට එරෙහිව පැනවුණ ඉතාම දැඩි සම්බාධකවලට තුඩු දෙන බව වොෂිංටනය කියතත්, තමා ඉතාම බලවත් න්‍යෂ්ටික අවිය එරට විසින් අත්හද‌ා බැලූ පසුව පවා පියොංයෑන් පාලනයට එරෙහි බලපෑම් දැඩි කිරීමට වැඩි යමක් සිදුවී නැතැයි පත්‍රය පෙන්වා දුන්නේය. මේ නිසා උතුරු කොරියාවට එරෙහි සිය ප්‍රධාන අරමුණ සපුරා ගැනීමට ඇමරිකාව සමත්වේදැයි ඇමරිකන් පත්‍රයටත් ගැටලුවක් පවතියි.

යෝජනා සම්මතයට පෙර ආරක්ෂක මණ්ඩලයේ ඇමරිකාව තානාපතිනි නිකී හේලි, රුසියානු සහ චීන තානාපතිවරුන් සමඟ පැවැත් වූ සාකච්ඡා වලදී මුල් ඇමරිකන් යෝජනාවේ ‘‘විස දළ’’ කපා දැමීමට සිදු වූ බව කියූ පත්‍රය එසේ නොවිය නම්, යෝජනාවට එරෙහිව එම දෙරටේ න්‍යෂ්ටික බලය යෙදවීමේ අවදානමක් පැවති බවද සිහිපත් කරයි.

උතුරු කොරියාවට තෙල් විකිණීම සම්පූර්ණයෙන් තහනම් කර, කිම් ජොං – උන්​ෙග් විදෙස් චාරිකා සහ විදෙස් වත්කම් තහනම් කළ යුතු බවට ඇමරිකාව යෝජනා කළ දණ්ඩන පියවර යෝජනාවෙන් ඉවත් කර තිබේ. උතුරු කොරියාවේ වරායවලට තහනම් බඩු ගෙන යතැයි සැක කෙරෙන නැව් පරීක්ෂා කිරීමට යෝජනාවට බලය දෙයි එහෙත්, පරීක්ෂණයන්ට අවනත නොවන යාත්‍රාවලට එරෙහිව හමුද‌ා බලය යෙදවීමටත් බලය දියයුතු බවට ඇමරිකාව මුලින් ඉල්ලා සිටි විධිවිධානය යෝජනාවෙන් ඉවත් කර ඇත. සාමයට බඳුන් වෙන නැව් පරීක්ෂා කිරීමට හැකි වන්නේද, ඒවා ලියාපදිංචි වී ඇති රටවල අනුමැතිය ඇතිව පමණකි. මේ අනුව, සම්බාධකවලින් රිංගා යාමට හැකි සිදුරු පවතින බව නිරික්ෂකයෝ පෙන්වා දෙති.

නව සම්භාධක අනුව, උතුරු කොරියාව රෙදිපිළි අපනයන මුළුමනින්ම තහනම් වෙයි. එරට අපනයන ආද‌ායම්වලින් සියයට අසූවක් පමණ උපයා ගැනෙන රෙදිපිළි අංශයට බලපාන තහංචිය නිසා ආර්ථිකයට දැඩි පහරක් එල්ලවෙයි. ස්වභාවික ගෑස් ආනයනයත් තහනම්ය. එහෙත් බොරතෙල් ආනයනය පසුගිය දොළොස් මස තුළ පැවති මට්ටමේ තබා ගත හැකිය. තෙල් ආනයනය සීයයට තිහකින් කප්පාදු වෙයි. විදේශගත උතුරු කොරියානු ශ්‍රමිකයන්ගේ සේවා කොන්ත්‍රාත් දීර්ඝ කිරීමද තහනම්ය. මේ අනුව 93000 ක් පමණ වන විදේශගත ශ්‍රමිකයෝ රටට එවන විදේශ විනිමයද නවතා ඇත. එතෙර රැකියාවල යෙදෙන උතුරු කොරියානුවන් සියල්ලම පාහේ සිටින්නේ දේශසීමාව යාබද මහ දෙරට වන රුසියාවේ සහ චීනයේය. ගිය බදාදා මැලේසියා අගමැතිවරයා සමග වොෂිටනයේදී පැවැති පිලිසදරකදී ජනාධිපති ට්‍රම්ප් පළ කළ අදහස්වලින් පිළිබිඹු වූයේද මුල් ඇමරිකන් කෙටුම්පත් තිබූ දැඩි විධිවිධාන ඉවත් කිරීමට සිදුවීම ගැන. ඔහු පැහැදිලි …………. පසුවෙන බවකි. ඉදිරියේදී සිදුවීමට නියමිත දේ සමඟ සසදන විට ගිය සඳුද‌ා ආරක්ෂක මණ්ඩලයේදී සම්මත වූ යෝජනාව ‘‘ඉතා සුළු’’ පියවරක් පමණකි. ඔහු පවසා තිබේ. එය ජනාධිපතිවරයා කිම් ජොං – උන්ට යවන අලුත් අනතුරු ඇඟවීමක් විය නොහැකිද?

මේ අතර, යෝජනාවේ සිදුරු වී තැන්වලින් රිංගා එහි බලපෑමක් හැකි තරම් බේරී සිටින උදෙසා චීනයත්, රුසියාවත් උපක්‍රමශීලීව පියවර ගනු ඇතැයි නිලධාරින් අතර තදබල මතයක් ඇතැයි පෙන්වන වාර්තා රැසක් ඇමරිකාව මාධ්‍යවල පළවිය. නැව් මගින් භාණ්ඩ ප්‍රවාහනයේදී සහ ජාත්‍යන්තර බැංකු ගනුදෙනුවලදී කලින් වූ සම්භාධක යෝජනා ගැන නොතකා උතුරු කොරියාව සමග ගනුදෙනු කළැයි චීනයේ සහ රුසියාවේ ඇතැම් අංශවලට ඇමරිකාව ඇඟිලි දිගු වී තිබේ. එහෙත්, චීනයත් රුසියාවත් පවසන්නේ. යෝජනා අනුව සිය ජාත්‍යන්තර වගකීම් අකුරටම ඉටු කරන බවයි. කෙසේ හෝ වේවා, චීනයේත් රුසියාවේත් සහ සහයෝගය හරිහැටි නොලැබේ නම් සම්බාධක හරි හැටි ක්‍රියා යෙදවිය නොහැකි බවයි. ගිය අගෝස්තුවේදී සම්මත වූ සම්බාධක මගින් උතුරු කොරියාවේ ගල් අඟුරු, යකඩ මුහුදු නිෂ්පාදන ඇතැම් අපනයන කිහිපයක් තහනමට ලක් වූ අතර අලුත්ම සම්බාධක නිසා එරට න්‍යෂ්ටික අවි වැඩසටහනට දැඩි අවහිර මතු වෙන ඇතැයි ඇමරිකාව අපේක්ෂාව වී තිබේ. නව සම්බාධක යෝජනාව සම්මත වීමෙන් පසු අදහස් දැක් වූ ඇමරිකන් තානාපති නිකී හේලි කීවේ සම්බාධකවල පීඩනයට සහනයක් ලබාගෙන, අාර්ථික සහ ආරක්ෂාව පිළිබඳ සහතිකයකුත් දිනා ගැනීම උදෙසා සිය විනාශකාරී න්‍යාෂ්ටික වැඩසටහන අත්හර දැමීමට කිම් ජොන් උන් පියවර ගනු ඇතැයි අපේක්ෂාවක් ඇතිව සම්බාධක අවිය මුවහත් කිරීමට ඇමරිකාව තීරණය කළ බවය. යුද්ධය තමන්ගේ බලාපොරොත්තුව නොවන අතර, සුදුසු පියවර ගැනීම සඳහා උතුරු කොරියාවට තවමත් යම් කාලයක් ඉතුරු වී ඇතැයි ඕ පැවසුවාය. න්‍යෂ්ටික වැඩසටහන නවත්වන්නේ නම් දිනාගත හැකි අනාගතයක් එරට හමුවේ ඇතැයිද ලෝකය සමග සමසේ ජීවත්වීමට තමන්ට හැකි බව ඔප්පු කළහොත්, ලෝකයත් එරට සමග සාමයේ පසු වෙනු ඇතැයිද ඇය පළ කළාය.

එයට ප්‍රතිචාර වශයෙන් එක්සත් ජාතීන්ගේ උතුරු කොරියානු තානාපතිවරයා කීවේ. ආරක්ෂක මණ්ඩලයේ නීති විරෝධී සම්බාධක යෝජනාව තම රට විසින් එකහෙළා ප්‍රතික්ෂේප කරන බවය. මේ සාපරාධී යෝජනාව බරපතළ වන්දියක් පෙර නොවු විරූ පරිමාණයේ විනාශයක් වෙනුවෙන් යුතුව ගෙවීමට ඇමරිකාව සූදානම් විය යුතු බවට ඔහු අනතුරු ඇඟවීමක් ද යෙදිණි.

උතුරු කොරියාවට එරෙහි නවතම සම්බාධක යෝජනාව ආරක්ෂක මණ්ඩලය තුළ ඒකච්ඡන්දයෙන් සම්මත වීම නිසා මුළු ජාත්‍යන්තර ප්‍රජාවම එරට න්‍යෂ්ටික අවි වැඩසටහන ප්‍රතික්ෂේප කරන බව පැහැදිලි යයි දකුණු කොරියා රජය පැවසීය.

න්‍යෂ්ටික අර්බුදය විසඳීම සඳහා උතුරු කොරියාව අවි පරීක්ෂණත් දකුණු කොරියාව සහ ඇමරිකාව ඒකාබද්ධව ගෙන යන යුද අභ්‍යාසත් සමගාමීව නැවැත්විය යුතු බව, චීනයත්. රැසියාවත් ඒකාබද්ධව ප්‍රකාශයට පත් කළ යෝජනාවකින් ඉල්ලා තිබේ. ගෝලීය දේශපාලන න්‍යාය පත්‍රයේ ඉතා දුෂ්කර ගැටලුවක් බවට පත්ව ඇති මෙම අර්බුදයේදී, එම දෙරටට තම තමන්ගේ වෙනම න්‍යාය පත්‍ර ඇතැයි පැහැදිලි නමුදු, ඔවුන්ගේ පොදු ප්‍රවේශය දැනට ඇති බෙහෙවින් ප්‍රායෝගික විසඳුම් වන බව කිව හැකිය. ඔරොත්තු දිය හැකි සීමාවක් ඇතුළත සම්බාධක පැනවීමේ සහ රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා ක්‍රියාදාමය යළි පණ ගැන්වීමේ පිළිවෙත් එකට බද්ධ කිරීමේ ප්‍රවේශයකට එම දෙරට එළැඹ ඇති නිසා විය යුතුය. උතුරු කොරියාවට ඇති ආරක්ෂාවත් එයමය.