රස්සා හොයන් එන ගමේ කෙල්ලන් හෙලුවෙන් නටවන කොළඹ සමාජශාලා

424

ගමෙන් කොළඹ ගෙනා 15 වියැති දැරියක් කෝට්ටේ සමාජ ශාලාවක නාටිකාංගනාවක් ලෙස භාවිතා වීමත්, ඇය මුදලට විකිණීමට සූදානම් වූ අවාසනාවන්ත ප්‍රවෘත්තියක් අවසන් සතියේ මාධ්‍යයේ පළවිය. ඇය කොළඹ ගෙනාවේ කවුද? එයට මඟ පෑදුවේ කෙසේ ද? යන්න වැලිකඩ පොලිසියේ දී හෙළිදරව් වී තිබිණ.

උත්සවයකට යන මුවාවෙන් ඥාති සොහොයුරිය සමඟ ඇය කොළඹ ආවේ තනි නොතනියක් වෙනුවෙනි. එහෙත් අනෙකෙකුගේ තනි මකන්නට පැමිණි දැරියට ‘තව නූලෙන් සිදු වෙන්නේ’ කොළඹ මහත්තුරු සමඟ කාමරවල තනි වෙන්නටය.

සමාජය හොඳ නැත. සමහර දේවල් වෙන හැටි වගේම එන පොට ද හොඳ නැත. මේ නිසා ආගන්තුකයන් කොළඹ එනවිට කොහොමත් පරිස්සම් විය යුතුය.

හීන හොයන සමනල්ලු ගමෙන් කොළඹ පියාඹන්නේ තටු හොයාගෙන ඉගිල යන්නටය. කොළඹ කරක් ගැහුවොත් ඒවාට මාර්ග ඕනෑවටත් වඩා තිබේ.

ඒ නිසා දැනගෙන ගියොත් කතරගම, නොදැන ගියොත් අතරමඟ වගේ කොළඹත් එසේම ඇවිද යා යුතුය. කොළඹදී අතරමං වුණොත් අවසානයේ වැලේ වැල් ද නැත. මේ ලිපි පෙළ අපි ලියන්නේ ඔබේ පරිස්සම වෙනුවෙනි.

හැප්පෙන්න – ගැස්සෙන්න කොළඹ එන තරුණ තරුණියන්ට මේ ලිපි පෙළ අනිවාර්යයෙන් වැදගත් වේවි.

‘මාර්කටින් කියන්නෙ මාර්කටින්’ සමහර වෙළෙන්දන්ට සමහර දේවල් හරි අපූරුවට වෙළෙඳ භාණ්ඩ කරගත හැකිය. වෙළෙඳ භාණ්ඩ නැත්නම් වෙළෙඳ භාණ්‍ඩ හදා ගන්නා හැටිද මේ ‘මාර්කටින්ලා’ දනී.

ලංකාවේ වැඩිපුරම සම්බාහන මධ්‍යස්ථාන, ගණිකා නිවාස ඇත්තේ කොළඹය. ඇතැම් තැන්වල එක ළඟ එක පෙළට ඒවාය. තමන්ගේ වාපාරවලට ගම්වල රූමතියන් අල්ලා ගැනීමේ එක එක ජාතියේ උපක්‍රම මොවුහු භාවිතා කරති.

සමහරු එළිපිට සල්ලි විසිකරති. සල්ලිවලට කෑදරකමේ එන තරුණියන් ‘ස්පා’ එකෙන් පටන්ගෙන ගණිකාවක් ලෙස කාලයත් සමඟ ස්ථාවර වේ.

සමහර තරුණියන් මළත් ස්පා යන්නට හෝ ගණිකාවක් වෙන්නට හෝ කැමැත්තක් නැත. සල්ලි වගේ ද ජීවිතය කියා හිතන බොහෝ අහිංසක තරුණියන් රැවටෙන කතාවකින් අද සටහන තියමු.

සුපුරුදු මගේ මිත්‍රයා අතුලත් සමඟ සාකච්ඡාව අරඹමි.

ඈත ගම්වල අහිංසමක ගෑනු ළමයි එයාලගෙ පැවැත්ම පාවා නොදී කීයක් හරි හොයාගෙන පවුලත් ගොඩ දාගෙන එයාලත් ගොඩ යන්න රස්සා හොයනවා. හුඟක් වෙලාවට අවිවාහක අවුරුදු 18 පස්සෙ ගෑනු ළමයි කොළඹ එන්නෙ විවාහ වෙනකල් රස්සාවක් කරනවා කියලා හිතාගෙන, දෙමාපියන්ට බරක් නොවී ගෙදරට ලීබඩු ටිකවත් අරන් දෑවැද්දට කීයක් හරි හොයා ගන්න.

අතුලගේ කතාවට මම ද එකඟ වීමි.

‘අලුත්ම මාර්කටින් එක දන්නව ද? ගම්වල හුඟක් කෙල්ලො ආත්මෙ පාවල දෙන්න කැමැති නෑ.’

‘ඒ කිව්වේ…’ මම විමසීමි.

‘ඒ කිව්වේ… මැරුවත් ඇඟ විකුණන රස්සාවලට එන්නෙ නෑ. මේක හුඟක් ක්ලබ්වල ගණිකා සහ ස්පා කරන ඩීලර්ස්ලා දන්නවා. ඒක හින්දා අලුතෙන් කෙල්ලො සෙට් එකක් අල්ලන්නෙ කොහොම ද කියලා මෙයාල දවසින් දවස මාර්කටින් වෙනස් කරනවා.

‘පුදුමෙ කියන්නෙ, මැරුණත් ඇඟ විකුණන්නේ නෑ කියන ගමේ කෙල්ලො කොළඹදි හරි අපූරුවට ඒක කරන එකනේ.’

‘ඒ කොහොම ද?’

‘ඒකෙ එක එක පැති තියෙනවා මහත්තයා. මේක පටලවපු නූල් බෝලයක් වගේ වැඩක්. පැටලෙව්වා වගේම ලිහන්න දන්නෙත් මේ මාර්කටින් ඩීලර්ස්ලාමයි…

ප්‍රධානම වැඩක් තමයි රස්සා දෙන එක. රැකියා ඇබෑර්තු එක එක විදිහට පළකරනවා, පෝස්ටර් ගහනවා, ඇබෑර්තු දාන මාධ්‍යවල පළ කරනවා. ගම්වලට රස්සා දෙන නියෝජිතයෝ යවනවා, රැකියා ඒජන්සි කරනවා. එයාලගෙ ඇබෑර්තු එකක්වත් ස්පාවලට, ගණිකා නිවාස හෝ ක්ලබ්වලට සම්බන්ධ නෑ. එයාල ප්‍රචාරය කරන්නේ කෑම, බීම, නවාතැන් නොමිලේ, ජුකී ඇබෑර්තු, අතිකාල දීමනා, ඊ.ටී.එෆ්. ඊ.පී.එෆ් කියලා.

කුඩා ඇඟලුම් ශාලා, සාමාන්‍ය කාර්යාල, සමහර සුළු නිෂ්පාදන ආයතන කියලා ඉන්ටවීව් කරනවා.

අම්මා තාත්තා එක්ක ඈත ගම්වල ගෑනු ළමයි මේ ඉන්ටවීව්වලට එනවා. ඇබෑර්තු දැන්වීම වගේමයි. ටයි දාගත්තු මහත්තුරු මේ කෙල්ලන්ගෙ අධ්‍යාපන සුදුසුකම්, චරිත සහතික සේරම බලනවා. හැබැයි මේ සේරටම යටින් තියන අරමුණ තමයි, රූමත්ම කෙල්ලො රස්සාවට අරන් ක්‍රමානුකූලව යට ගේම ක්‍රියාත්මක කරන එක….”

“ඇත්තටම මෙයාල ජුකී ඇබෑර්තු ඔෆිස් රස්සා දෙනවා ද?” මා විමසීමි.

“ටික කාලෙකට කලින් බොරැල්ලෙ සුපර් මාර්කට් ළඟත් මේ වගේ වැඩක් වුණා. මේ කොළඹ තවත් ඕක හරි අපූරුවට සැලසුම් සහිතව සිදුවෙනවා. මේ රස්සා ඒජන්සි නැත්නම් ආයතන ගෑනු ළමයි ඉන්ටවීව් කළාට පස්සෙ හොඳම අය තෝරල ලියුම් යවනවා, එයාල තෝරා ගත්තා කියලා.”

එතැනින් පසු ගම්වල තරුණියන් කොළඹ එන්නේ දහසක් බලාපොරොත්තු මැදින්. ඒ හීන කොයිතරම් විශාල ද යන්න දන්නේ ඔවුන්ම පමණි. කුඩා ඇඟලුම්ශාලාවලට එන්නැයි කී අයටත්, කාර්යාලවලට ඉන්ටවීව් කළ අයටත් ඒ රැකියා ලබා දෙන්නට මේ අමුතු මාර්කටින් ඩීලර්ස්ලා සමත්වේ.

ප්‍රධාන ඇඟලුම්ශාලාවලින් ගත් උපඇඟලුම්ශාලා සේවිකාවන් දෙතුන් දෙනා සිටින කුඩා කාර්යාලවල මොවුන් සේවයේ යෙදවේ.

“වැඩේ කියන්නෙ… මේ ගර්ල්ස්ලට කිව්ව විදිහටම රස්සාව දෙනවා. අඳින්න ඕනෑ හැටි කියනවා. නයිට් ඉඳල ඕටී කරන්න කියනවා. ටාර්ගට් පෙන්නන්න කියනවා. පඩි වැඩි කරනවා. ඒ අතරෙ ඉන්නත් නවාතැන මෙයාලම දෙනවා. කිසි ප්‍රශ්නයක් නෑ.

මේ අලුත් ටීම් එක මාස කීපයක් යද්දි එක මට්ටමකට ගන්න මාර්කටින් ඩීලර්ස්ලා සැලසුම් කරල ඉවරයි.

අපේ තව තැනක් තියෙනවා. එතන සති දෙකක් වැඩ කරලා එන්න කියනවා. පඩිය මෙයාලට රුපියල් 5,000/-ක් විතර වැඩි කරනවා. මේ විදිහට නයිට් ක්ලබ් එකක, ස්පා එකක සාමාන්‍ය විදිහට තියලා ඒ ජීවිතේට ක්‍රමානුකූලව හුරු කරනවා. නමුත් පිරිමි අතට දීලා කාමරවලට යවන්නෙ නෑ. සුළු වැඩ…. බිල් ලියන්න, සල්ලි ගන්න, පිළිගන්න වගේ දේවල්. ඒකට හේතුව තමයි මේ කෙල්ලො ගත්තේ ඔෆිස් වැඩවලට, ඇඟලුම් හලක මහන්න.

ශානිකා කියලා තරුණියක්. එයාට මේක වුණා.”

සතියක් එයා ක්ලබ් එකේ හිටියා. ඇය මේ කතාව ගොතා තිබුණේ මෙසේය.

“මම ආවේ බොරැල්ලෙ එක්තරා තැනක කරපු ඉන්ටවීව් එකකින්. ඒකේ තිබුණෙ බිල් ලියන්න. මාත් ඒක්ක තව ගර්ල්ස්ලා හතර දෙනෙක් වැඩ කළා. මාසයක් දෙකක් වැඩ කළා. බොස්ගෙ ඇඟලුම් ‘සබ්’ ගන්න එකකුත් තිබුණා.
දවසක් මට කිව්වා, ශානි ඔයාට පඩිය රු 5,000/-ක් වැඩිය දෙන්නම් මට සති දෙකක් අපේ තැනක වැඩ කරල සපෝර්ට් එකක් දෙන්න පුළුවනි ද කියලා. ඇත්තටම බොස් හොඳයි. මම එතනට ගියා. ඒක ක්ලබ් එකක්. මම පිළිගැනීමේ නිලධාරී විදියට හිටියා තවත් ගර්ල්ස්ලා දෙන්නෙක් එක්ක. බිල් ලියන්න, තව පොඩි වැඩවලටත් ඇඟලුම් ශාලාවේ කියපු ගර්ල්ස්ලා අරන් හිටියා. මුල් සති දෙකේ ප්‍රශ්නයක් නෑ. කට්ටිය එනවා, යනවා, ජොලි කරනවා. ඇත්තටම අපි ආපු අලුත් ටීම් එක පහක් විතර. අපි ඒ පරිසරයට ක්‍රමානුකූලව හුරු වුණා. අපි දකින්නෙ සල්ලි ජීවිතේ කරගත්තු කෙල්ලො. විනෝදය ජීවිතේ කරගත්ත සල්ලිකාර කෙල්ලො.

සති දෙක ගෙවිලා ගියා. බොස් ඇහුවා, තව පන්දාහක් පඩි වැඩි කරනවා. තව මාසයක් ඉන්න පුළුවන් ද කියලා.
ඇත්තටම බෑ කියන්න හේතුවක් අපි පස්දෙනාටම තිබුණෙ නෑ. ඔහොම ඉද්දි අපේ ඇඟලුම් එකෙන් ආපු අනික් කෙල්ලො ස්පා එකේ වැඩකරන ගර්ල්ස්ලා එක්ක හුඟාක් චැට් කළා. එයාලා පුදුම ලෝකයක් මවල පෙන්නුවා. අපටත් එහෙමයි. ඉතින් පාට් ටයිම් ස්පා රස්සාවට මම පුරුදු වුණෙත් එහෙමයි. මාස දෙක තුනක් යද්දි අපි පස්දෙනාම ඒකෙ තෙරපිවරියො විදිහට ලොකු පඩියක් ලබමින් ස්ථීර වුණා. ඒ අතරෙ නයිට් ක්ලබ් එකෙත් වැඩ කරනවා.

සුදාරිට හොඳ සල්ලිකාර කොල්ලො හතර පස් දෙනෙක් සෙට් වුණා. එයා ලස්සනයි, ගමේ කෙල්ලෙක්. මටත් හොඳ මහත්තුරු කීප දෙනෙක් මුණගැහුණා. ඒ අය අපි ළඟට විතරයි එන්නෙ. හොඳට ටිප් එක ගෙවනවා. මේ විදිහට ගමෙන් ආපු අපි පස්දෙනාම මාස හත අටක් යද්දි සිගරට් බොන, වොඩ්කා බොන, පිරිමි ජීවිතේ කරගත්තු සල්ලිවලින් බරවුණු ජීවිත වුණා. ඒත් දැන් අපි කොහොම ද ගමට යන්නෙ. අපි කොහොම ද ඇත්තක් කියන්නෙ. අපි කොහොම ද කසාද බඳින්නෙ. මේ වගේ ප්‍රශ්න ගොඩක ගිනි අරන් ජීවත් වෙනවා. අපිට මේ ජීවිතේ හැර ජීවිතයක් හිතන්නත් බෑ. ගියා වේග වැඩියි, දුර වැඩියි කියලා අපට හිතෙනවා. ගාමන්ට් රස්සාවට ගත්ත අය අවුරුද්දකට කීප විටක් මෙතනට එනවා. එතකොට අපි ෆීල්ඩ් එක හුරු අය නිසා වෙනත් ක්ලබ්වලට යවනවා.”

සංවිධානාත්මක අපරාධ සේම මෙය ද කල් ඉක්ම ගියත් දැනුදු කොළඹ සිදුවන්නකි. ‘මාර්කටින්’ කරන මේ ක්ෂේත්‍රයේ ‘පොරවල්’ වලට මොන කෙල්ලත් ලොකු නැත. රස්සාවට ගත්තා නම් සූක්ෂමව ගැසිය යුතු ගේම ද ඔවුන් දනී.

එම නිසා රස්සා හොයන් ඇවිත් ඔබට රස්සාව කළ හැක. නමුත් නුසුදුසු තැනට කීය දුන්නත් ඔබ යා යුතු නැත.

බොස්ගේ හොඳ හිතට වඩා ඔබේ පතිවත වටිනා බව අපි කියමු. බැරි තැනදී දමා ගමට එන්න. අහුවීම සල්ලි කන්දක් වුව ද ඔබට විනාශයකි.

(පුවත්පත් ඇසුරිණි)