දරුවන්ට පාසල තුළින්ම පිළිකා සෑදීමේ අවදානමක්

393

ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් තහනම් කොට ඇතත් සමාගම් රැසක් මේ වනතුරුත් ඊයම් අඩංගු තීන්ත වර්ග නිපදවීමෙහි යෙදී සිටින බව පාරිසරික යුක්ති කේන්ද්‍රයේ කළමනාකාර අධ්‍යක්ෂ දිලෙන පාත්‍රගොඩ මහතා පවසයි.

හෙතෙම මේ බව පැවැසුවේ ඊයම් විස වීම් වළක්වා ගැනීමේ ජාත්‍යන්තර සතියට සමගාමීව බොරැල්ල රුහුණු කලා මාවතේ පිහිටි පොත්ගුල් විහාර පරිශ්‍රයේ ඊයේ (23) පැවැති ඊයම් විස වීම පිළිබඳව දැනුවත් කිරීමේ වැඩමුළුවක් අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාත්‍රගොඩ මහතා මෙසේද කීය.

බොහොමයක් තීන්ත වර්ගවල සිරුරට අහිතකර විස ඊයම් අඩංගු වී තිබෙන බව අප සොයාගනු ලැබුවේ 2009 වසරේදීයි. තීන්තවල ඊයම් අඩංගු වීම පිළිබඳව සිදුකරන ලද පර්යේෂණයට ආසියානු කලාපයේ රටවල් දහයක් සහභාගි කරවා ගත්තා. ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් ඊට අනුග්‍රාහකත්වය ලබා දුන්නා. එක්සත් ජාතීන්ගේ සංවිධානයත් මේ පර්යේෂණවලට දායකත්වය ලබා දුන්නා.
ඊයම් අඩංගු තීන්ත ආලේපන කරන ලද පරිසරයන්ට නිරාවරණය වීමෙන් වැඩිම අවදානමකට ලක්වන්නේ ළදරුවන් සහ ගර්භණී මවුවරුන්. බිත්තිවල, පොළොව, ගෘහ භාණ්ඩ පාසල් ඩෙස් බංකුවල ආලේප කරන ඇතැම් තීන්තවල සිරුරට අහිතකර ප්‍රමාණයෙන් ඊයම් අඩංගු වී තිබෙනවා.

තීන්තවලට ඊයම් එක් කිරීමෙන් දීප්තිමත් පැහැයක් ලබාගත හැකිය. නමුත් එය සිරුරට කිසිසේත්ම හිතකර වන්නේ නැහැ. වාතයට අංශු ලෙසින් එක්වී හෝ ස්පර්ශය මඟින් අහිතකර ඊයම් කොටස් කෙනකුගේ සිරුරකට ඇතුළු විය හැකිය. දරුවන්ගේ ශරීරයට විස ඊයම් එක්වීමෙන් ඒ දරුවන්ගේ ස්නායු පද්ධතියේ වර්ධනය දුර්වල වෙනවා. ඔවුන් දඩබ්බර වීම, මානසික ව්‍යාකුලතාවට ගොදුරු වීම දැකිය හැකියි. නමුත් එහි බරපතළ තත්ත්වය වන්නේ වකුගඩු අකර්මණ්‍යතාවන්ට සහ පිළිකා රෝගී තත්ත්වයන්ටත් ගොදුරු වීමයි.
ගර්භණී මවුවරු ඊයම් අංශු සහිත පරිසරයක සිටීමෙන් ඒ අයට අංගවිකල දරුවන් ලැබිය හැකිය. ඊට අමතරව පොදුවේ සියලුදෙනා ඊයම් අංශුවලට නිරාවරණය වීමෙන් සෞඛ්‍ය ගැටලුවලට මුහුණ දෙනවා. බරපතළ තත්ත්වය වන්නේ වකුගඩු ආබාධ සහ පිළිකා රෝගී තත්ත්වයන්ට ගොදුරු වීමයි.

තීන්තවලට ඊයම් එක් කිරීමට එරෙහිව 2012 වසරේදී අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් පැවරුවා. ඒ අනුව 2013 වසරේ ජනවාරි මස 1 වැනි දින සිට ඊයම් අඩංගු කරමින් තීන්ත නිපදවීම ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් තහනම් කළා. නමුත් තවමත් සමාගම් රැසක්ම ඊයම් එක් කරමින් තීන්ත නිපදවනවා. මෙහිදී නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ පාරිභෝගික සේවා අධිකාරියයි.