දරුවන්ගේ කුසගින්නට කොස් ගෙඩියක් කැඩූ කාන්තාවකට අධිකරණයෙන් ලැබුණු විශ්මිත තීන්දුව

4725

සොරකම බරපතළ වරදකි. එයට සුදුසු දඬුවම් ලබාදීම අධිකරණය සතු කටයුත්තක් බවද සැබෑවකි. කාන්තාවක් අසල පිටස්තර නිවෙසකට අයත් අඹ ගසකින් අඹ ගෙඩි තුනක් කඩාගෙන යෑම නිසා ඇතිවූ සිදුවීම් පෙළ මාධ්‍ය හරහා අනාවරණය වීමෙන් පසු එය මහත් ආන්දෝලනාත්මක සිදුවීමක් බවට පත්වී තිබේ. නීතිය, සමාජ සාධාරණය හා නීතිය ක්‍රියාත්මක කරන ආයතන වශයෙන් පොලිසියේ යුතුකම් හා වගකීම් මෙන්ම අධිකරණ ක්‍රියාදාමය පිළිබඳවද සමාජය තුළ නවමු කතාබහක් ඇති කිරීමට මෙම සිදුවීම හේතු පාදක වී තිබේ.

මෙම පසුබිම තුළ අසූව දශකයේ මීට සමාන සිද්ධියකදී මහෙස්ත්‍රාත්වරයකු ලබාදී ඇති දඬුවමක් පිළිබඳව එවකට උසාවියේ සේවය කරන ලද රෙජිස්ට්‍රාර්වරයකු විසින් කියන ලද කතාවක් ගැන රටේ ජනතාව මෙන්ම පොලිස් නිල දරුවන්ද දැනුවත් වීම වැදගත් යැයි සිතේ. මතකයේ හැටියට 1985 වසරේ පමණ දකුණේ අධිකරණයක විභාග වූ නඩුවක මෙබඳු සිදුවීමකදී විත්තිකාරියකට ලබාදී ඇති දඬුවමක් ගැන ජනතාව දැනුවත් කිරීම සඳහා මෙම සටහන මේ මොහොතේදී තැබීම ඉතාමත් උචිත යැයි සිතමි. මෙම ලිපියේ සඳහන් නඩු තීන්දුව ලබාදී ඇත්තේද රටේ ආන්දෝලනයට තුඩුදුන් නඩු තීන්දු ප්‍රකාශයට පත්කර ඇති සහ මේ වන විට විශ්‍රාම ගොස් ඇති විනිශ්චයකාරවරයෙකි.

දකුණේ මහෙස්ත්‍රාත් අධිකරණයක යථෝක්ත මහෙස්ත්‍රාත්වරයා සේවය කළ අවධියක එක්තරා අසරණ පවුලක අසනීපයෙන් එක්තැන්ව සිටින ස්වාමිපුරුෂයා රැක බලා ගැනීමටද දරුවන් සිවුදෙනා රැක බලා ගැනීමටද මහත් වෙහෙසක් දැරූ කාන්තාවක තේ ඉඩම්වල ගොස් උදලු ගා ලැබෙන සුළු මුදලින් පවුල රැක ගත්තාය. වැසි සහිත දිනක දරුවන් පාසල් ගොස් බඩගින්නේ එන විට කෑමට දීම සඳහා සහල් ඇටයක්වත් ගෙදර නොවීය. දරුවන්ට තම්බා දීම සඳහා සහල් ඇටයක්වත් ගෙදර නොතිබිණි. ඇය තම ඉඩම මායිමේ වැටේ තිබූ කොස් ගෙඩියක් කඩාගෙන ගොස් කොච්චි මිරිස් ටිකක් ගෙන සම්බෝලයක්ද සාදා පාසල් ගොස් නිවෙසට පැමිණි දරු පැටවුන්ට කෑමට දී කුසගින්න නිවා දමා සිත සැහැල්ලු කර ගත්තාය. එහෙත් වැඩි වේලාවක් සැහැල්ලුවෙන් සිටීමට ඇයගේ දෛවය ඉඩ ලබා දුන්නේ නැත. නිවෙස අසල පොලිස් ජීප් රියක් නවතා දරුවන් හඬද්දී ඇය කුදලාගෙන ගියේ හිත්පිත් නැති මිනිසුන් ලෙසිනි.

මෙම කොස් ගෙඩිය හිමිකරු විශ්‍රාමික පොලිස් නිලධාරියකු වූ අතර ඔහු විසින් මෙම කාන්තාව තමාගේ ඉඩමේ කොස් හොරකම් කළ බවට පැමිණිලි කර තිබිණි. පසුව දෙපාර්ශ්වයම කැඳවූ කාරුණික පොලිස් ස්ථානාධිපතිවරයා මෙම කාන්තාව නිදහස් කර දැමීමට වෙහෙසක් දැරීය.

එහෙත් මෙම විශ්‍රාමික පොලිස් නිලධාරියා හා ඔහුගේ බිරිය පැවැසුවේ මෙම කළ අලුගුත්තේරු වැඩෙන් ඔවුන්ට මහත් අවනම්බුවක් වී ඇති බවත් ඇයට සමාවක් දිය නොහැකි බවත්ය. පොලිසියට කළ හැකි දෙයක් නොවූයෙන් නඩුව අධිකරණය වෙත යොමු කෙරිණි. මෙම කාන්තාව වෙනුවෙන් පෙනී සිටීමට කිසිදු නීතිඥයකු නොසිටි අතර පැමිණිල්ල වෙනුවෙන් නීතිඥවරුන් විවිධ තර්ක ඉදිරිපත් කර ඇය වරදකාරිය බව පෙන්වා දුන්නේය. එමෙන්ම සොරකම් කිරීමේ වරදට දිය යුතු උපරිම දඬුවම ලබාදෙන ලෙසද මහෙස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය.

සාවධානව සියල්ල අසා සිටි මහෙස්ත්‍රාත්වරයා මෙම කාන්තාවගේ ස්වාමි පුරුෂයා සිටින තත්ත්වය ගැන හා පාසල් යන දරුවන් ගැන සිතා මෙය සමාදාන වන ලෙස ඉල්ලීමක් කළද එයට පැමිණිල්ල එකඟ නොවීය. තරමක් වේලා නිකටයේ අත ගසාගෙන කල්පනාවෙන් සිටි මහෙස්ත්‍රාත්වරයා විස්මිත නඩු තීන්දුවක් ප්‍රකාශයට පත් කළේය. එනම් සොරකම් කිරීමේ වරදට මෙම කාන්තාවට වසර දෙකක සිර දඬුවමක් නියම කරන බවයි. ඒ සමඟම මෙසේද නියෝග කළේය. මෙම කාන්තාව සිරගත කර සිටින කාලය තුළ පැමිණිලිකරු විසින් මෙම කාන්තාවගේ රෝගී ස්වාමි පුරුෂයාට හා දරුවන්ට ජීවත්වීම සඳහා මසකට රු. 3000 බැගින් මුදලක් ගෙවන ලෙසයි. කොස් ගෙඩිය වෙනුවෙන් රු. 72,000.00ක් ගෙවීමට පැමිණිලිකරුට සිදුවිය.

නඩු තීන්දුවෙන් පසු විශ්‍රාමික පොලිස් නිලධාරියාට හීන් දාඩිය දමන්නට වූයේ එකල තම විශ්‍රාම වැටුපද සොච්චමක් වූ බැවිනි. මෙම නඩු තීන්දුවටද මාධ්‍යවලින් හොඳ ප්‍රචාරයක් ලැබිණි. කෙසේ වුවද නීතිඥවරයකු මෙම නඩු තීන්දුව පිළිබඳ මෙසේ පවසා තිබිණි. මෙම නඩු තීන්දුව ගැන මහෙස්ත්‍රාත්වරයා ගෙන්වා අගවිනිසුරුවරයාත් විමසූ බවට ආරංචියක් තියෙනවා. එහෙම පැමිණිලිකරුට දඬුවම් කරන්න නීතියෙන් ඉඩක් තියෙනවද කියලා. මහෙස්ත්‍රාත්තුමා එම නීතිය අගවිනිසුරුට පෙන්වාදී තිබෙනවා.

නීතිය අනුව ඇයට දඬුවම් දිය යුතු නිසා දඬුවම් දුන්නා. දරුවන් පාසල් යැවීමට හා ස්වාමිපුරුෂයා ජීවත් කරවීමට කවුරු හෝ පිහිට විය යුතුයි. මෙය සොරකමක්ම නොව දරුවන්ගේ කුසගිනි නිවීමට කළ දෙයක්. නීතියේ තියෙනවා නීතියේ රන් කෙන්දක් බඳු වූ සාධාරණත්වයද ගරු කොට නඩු තීන්දුවක් දීමට මහෙස්ත්‍රාත්වරයකුට හැකියාවක් ඇති බවට. මම හිතන්නේ ඒ තත්ත්වය අගවිනිසුරුට කියන්න ඇති.

(Mawbima)